lan englan tam

බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය විහාරස්ථානයට අයත් ඇතෙකු පහර දෙනු ලැබීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් සෙනසුරාදා (පෙබරවාරි 03) අපවත් වූහ.

'මියන් කුමාර' නමැති හස්තියාගේ පහර දීමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි එහිමියන් සිකුරාදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබිණි.

බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ඉලඇටවලට බරපතළ හානී සිදු වී තිබු බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු මාධ්‍ය වෙත  පැවසීය.

අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එහිමියන් පසුව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යන ලද බවත් ඉහත කී වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

'මියන් කුමාර' නමැති හස්තියා මියන්මාරයෙන් තෑගී වශයෙන් ලැබුණු ඇතෙකි.

බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිකාරීව වැඩ විසූ උන්වහන්සේ කෝට්ටේ සංඝ සභාවේ තමන් දැරූ අනුනායක පදවියෙන් පසුගියදා ඉල්ලා අස් වූහ.

එසේම උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවූහ.

බෙල්ලන්විල නාහිමියෝ කලක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආසියා සහ අප්‍රිකානු අංශයේ සිංහල සහ පාලි භාෂා අධ්‍යයන අංශයේ ආචාරවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

 නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළැඹෙන 08දා පැවැත්වීමට තීරණය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.