lan englan tam

පුවත්

‘‘ප්‍රේමවන්ත කුමාරයෝ’’ විශේෂ දැක්මක්

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මහාකවි විලියම් ශේක්ස්පියර්ගේ Mid summer Night's Dream නාට්‍යය ප්‍රියංකර රත්නායකගේ අධ්‍යක්‍ෂණයෙන් ‘‘ප්‍රේමවන්ත කුමාරයෝ’’ නමින් කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය හා Academic Players  ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කිරීමක් ලෙස නිෂ්පාදනය කොට ඇත. 

‘‘ප්‍රේමවන්ත කුමාරයෝ’’ නාට්‍යයේ සිංහල පරිවර්තනය ජයවතී ජයසිංහගේ වන අතර, නිෂ්පාදනය ලාල් හඳපාන්ගොඩ විසිනි. සංගීතය ප්‍රමිත් දහනායකගෙනි. රංග වින්‍යාසය හර්ෂිකා රත්නායක සහ ප්‍රියංකර රත්නායකගෙන් වන අතර, රංග වස්ත්‍ර නිර්මාණය හර්ෂිකා රත්නායක සහ මහේෂ් උමගිලියගෙනි.

සමාජයේ විවිධ පංති අතර මනුෂ්‍ය ජීවිතය කෙරෙහි ප්‍රේමයේ බලපෑම කවරාකාර ද? විශේෂයෙන් ම තාරුණ්‍යයේ ප්‍රේමය කෙරෙහි වැඩිහිටි සමාජයේ විරෝධතා හා ඊට එරෙහි ව යෞවන ප්‍රේමය කරන අරගලය මෙම නාට්‍යයේ තේමාවයි. 

ශේක්ස්පියර්ගේ ප්‍රබලත ම සුඛාන්ත නාට්‍යයක් වන Mid Summer Night's dream  විවිධ අර්ථකථන සහිත ව ලොව විවිධ රටවල නාට්‍යයට, සිනමාවට නැගී ඇත. සමාජයේ ඉහළ ම පංතිය මෙන් ම පහළ ම පංතියේ යෞවන ප්‍රේමය ශෘංගාරාත්මක හා හාස්‍ය රසයෙන් අනූන ව තියුණු විවේචනයක් සහිත ව විමසුමට ලක්කෙරෙන ප්‍රේමවන්ත කුමාරයෝ සිංහල නිෂ්පාදනයේ දී 70 දශකයේ ලාංකික සමාජයේ ප්‍රචලිත ව පැවති ප්‍රේම කථා, සංගීතය, ගීත, සිනමාව, ඇඳුම් මෝස්තර, විලාසිතා ආභාසය කොටගෙන ශ්‍රී ලාංකේය ජනජීවිතයට හා යෞවනත්වයට ගැලපෙන ලෙස අර්ථකථනය කිරීමට මෙම නිෂ්පාදනයේ දී උත්සාහ දරා ඇත.

ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යයේ විශේෂ දැක්මක් පෙබරවාරි 12 වන දින සහ 21 වන දින සවස 3.30 ට සහ 6-30 ට මරදාන ටවර් රඟහලේ දී රංගගත කිරීමට සැලසුම් කොට ඇත. ශ්‍රී ලාංකේය නූතන වේදිකාවට මෙන් ම පාසැල් වේදිකාවට විලියම් ශේක්ස්පියර් සහ ඔහුගේ නිර්මාණ හඳුන්වාදීමට පුරෝගාමී වූ ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍ය සිංහලයට පරිවර්තනය කළ ජයවතී ජයසිංහ මහත්මිය වෙනුවෙන් පෙබරවාරි 12 වන දින දර්ශනය රංගගත කෙරෙනු ඇත. 

ඇය මෙම නාට්‍යය පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ වසර හතළිහකට පෙරදී ය. පෙබරවාරි 21 ‘‘ප්‍රේමවන්ත කුමාරයෝ’’ රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරමින් සවස 6.30 ට රංගගත කිරීමට නියමිත ය. 

ප්‍රියංකර රත්නායක, සජිත අනුත්තර ඇන්තනී, ඉෂාර වික්‍රමසිංහ, ප්‍රේමරත්න තෙන්නකෝන්, හර්ෂිකා රත්නායක, දිනේෂ් සඳරුවන් (ජෝන්, මහේෂ් උමගිලිය, චාමරී නිසංසලා, අසංක කෝඳාගොඩ, තිළිණි රුවන්දිකා, චන්දිමා කරුණාදාස, ලෙනින් ලියනගේ, මංගල පැස්කුවල්, යසන්ත බුද්ධික, බිනරි නන්දිතා රත්නායක, සංජීව ගුණරත්න ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍ය චරිත නිරූපණයෙන් දායක වෙති.

-නලී-

 

 

Back to top
Go to bottom

Popular News