lan englan tam

කැටිපේගේ වැඩක් - “ඊළඟ ජනාධිපති ! ඔබ කවුද ප්‍රියේ ?”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කැටිපේගේ වැඩක් - “ඊළඟ ජනාධිපති ! ඔබ කවුද ප්‍රියේ ?”

 

කවියකු, නවකතාකරුවකු, මාධ්‍යවේදියකු හා සිවිල් දේශපාලන ක්‍රියාකාරිකයකු වන විමල් කැටිපේආරච්චි පසුගිය 24 වැනිදා comrade.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කර තිබේ.

සාගරයක් මැද, හතර වටේ, බඹර වළල්ල, අහස් ගව්ව, සත් සමුදුර, තුන්මං හන්දිය, පාර දිගේ, ගුරු ගෙදර යනාදී සිංහල සිනමාවේ මංසලකුණු තැබූ චිත්‍රපට නාමයන්ගෙන් එම වෙබ් අඩවියේ විවිධ අංශයන් නම් කර ඇති අතර එහි 'සාගරයක් මැද' යන අංශයෙහි පළවූ පළමු ලියවිල්ල පහතින්,

“ඊළඟ ජනාධිපති ! ඔබ කවුද ප්‍රියේ ?        

හැමෝම ඡන්දෙකට ලෑස්ති වෙන බව පේනවා. ජනාධිපතිවරණය සම්බන්ධ නිශ්චිත දින වකවානු ගැන වටින් ගොඩින් කියවුණත්, සමහරු හිතන්නෙ ඊට කලින් මහමැතිවරණයක් එයි කියල. මොන මැතිවරණය ආවත් දැනට දේශපාලන සටනේ ඉන්න හැම පාර්ශවයක් ඉස්සරහම ලොකු අභියෝගයක් තියෙනව කියන එක තවදුරටත් රහසක් නෙමෙයි. අපි මේ ලියන්නේ ජනාධිපතිවරණ වියහැකියාවන් ගැනයි.

මෛත්‍රී කාගෙද ?

විවිධ ක්‍රමවලින් ලකුණු එකතු කරගෙන, මෛත්‍රී ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් වෙන බව පැහැදිලියි. හැබැයි ජනාධිපතිවරණය දිනන්න නම් මෛත්‍රීට විශාල බලවේගයක සහාය අත්‍යවශ්‍ය වෙනවා. මොකද්ද ඒ විශාල බලවේගය ? ඒ බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවෙන බව කිව යුතුයි. මොකද, ඇත්ත දේශපාලන මහපොළොවේ ශ්‍රී ලංකා එක ඉන්නෙ පොදුජන පෙරමුණටයි එජාපයටයි යටින් බව පොඩි ළමයෙකුට වුණත් තේරෙනව.

මෛත්‍රී තෝරාගන්නා බලවේගය ඒ දෙකෙන් මොකද්ද ? ඒ ප්‍රශ්නය තව විදිහකට ඇහුවොත් මෛත්‍රීව තෝරාගන්නා බලවේගය ඒ දෙකෙන් මොකද්ද ?

අපි එජාපය පැත්තෙන් අනුමානය පටන් ගමු. මෙතැනදී එජාපය සහ රනිල් කියන සාධකය වෙන් කරලා තමයි හිතන්න වෙන්නෙ. මොකද, මෛත්‍රී එක්ක ආපහු ඩීල් එකකට යන්න රනිල් කැමති වුණත් එජාපය කැමති වෙයිද කියන එක ප්‍රශ්නයක්.

රනිල්ගේ ඩීල් එක මොකද්ද ?

ඊළඟ ආණ්ඩුවේ අගමැති බලතල සහ ජනාධිපති බලතල බෙදිලා යන විදිහ ගැන හොඳ අවබෝධයක් තියෙන දෙන්නෙක් විදිහට, `ගිය වාරෙ නුඹේ මේ වාරෙ මගේ` කියල, මෛත්‍රී-රනිල් අලුත් දීගයක් නිර්මාණය වෙන්නත් බැරිකමක් නැහැ. හැබැයි එහෙම අලුත් ඩීල් එකකට එන්න නම්, මෛත්‍රීට එජාපය වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරලා පෙන්වන්න වෙනවා.

මොකද, එහෙම නොවුණොත්, ආපහු සැරයක් මෛත්‍රීට ඡන්දය දෙන්න කියල එජාපය කැමති කරවගන්න රනිල්ට ලේසි නැහැ.අනික දැන් එච්චර දේවල් පෙළගස්සගන්න මහලොකු කාලයකුත් නැහැ. එහෙම ඩීල් එකක අවසාන ඔප්ෂන් එක වෙන්නෙ, වෙන වෙනම ඡන්දයකට ගිහින් - පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ආවොත් අන්න එයාව කොනට කරලා, මෛත්‍රීට ඔටෝ වින් එකක් අරගෙන දෙන එක. රනිල් කියන්නෙ ඒක කරන්න බැරි කෙනෙකුත් නෙමෙයි.

ජාතික ආණ්ඩුව සීසන් 02

මෛත්‍රී එහෙම එකකට වුනත් කැමති වෙන්න ඉඩ තියෙන්නෙ, ජනපති ධුරයට නැවත පත් වීම එයාගෙ හීනයක් බව පේන හින්දා. `ජාතික ආණ්ඩුව සීසන් 02` යටතේ ජනාධිපතිවරණෙන් පස්සෙ රන් කරන්න හිතාගෙන ඒ වගේ අවදානම් සහගත ඩීල් වුණත් කොළඹ දේශපාලනය ඇතුළෙ නිර්මාණය වෙන්න පුළුවන්.

අනෙක් පැත්තෙන්, රනිල්ට ඕන ජනපති සටනෙන් දිනන එකට වැඩිය, මොකක්හරි ටයිටල් එකක් යටතේ සුපිරි බලතල සහිත පාලකයෙක් වෙන්න කියන එක පැහැදිලියි. හැබැයි ඉතින් ප්‍රශ්නය තියෙන්නේ එහෙම සුපිරි බලතල ලැබුණොත්, මේ පේන්න ඉන්න `බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදී රනිල්ව` නැවත මුණගැහෙයිද කියන එකයි. අපේ නං ඒකට උත්තරය `නැහැ !` කියන එක තමයි.

සජිත් සහ මංගල කොයිබටද ?

හිතේ හැටියට ගේම් එක ප්ලේ කරන්න රනිල් හිතාගෙන හිටියත් එයාටත් ඒක කරන්න ලේසි නැහැ. සජිත් සාධකය එජාපය පැත්තේ ලොකු තුරුම්පුවක්. එජාපයේ යටින් සජිත් කැම්පේන් එකක් යනව කියන එක ඉතින් තවදුරටත් රහසක් නෙමෙයි. කරූ සහ චම්පිකත් දෙපැත්තෙන් බලාගෙන ඉන්නව. මරණ තුනක් මැද පැණි කන එක රනිල් හිතන තරම් ලේසිවෙන එකක් නැහැ.

එතකොට මංගල ?

ජනාධිපතිවරණ දාම් ලෑල්ලේ මංගල මොන වගේ ප්ලේ එකක් පෙන්වයිද කියන එකත් ටිකක් හොයල බලන්න ඕන ප්‍රශ්නයක්. මංගල හිතාගෙන හිටියට එයා යූ එන් පී කියල යූ එන් පී එකට තාමත් මංගල ශ්‍රී ලංකා. ඒ තත්ත්වය වාසියට තියාගෙන මංගල මෛත්‍රී එක්ක සාකච්ඡාවකට ගියොත්, එජාපය තුෂ්නිම්භූත වෙන්න පුළුවන්.

ඒක එහෙම වෙන්න පුළුවන් කියන එක කලින් දැකල සජිත්, මංගලට ළං වුනොත් රනිල් ලොකු අමාරුවක වැටෙනවා. බැරිවෙලාවත් එහෙම දෙයක් වුනොත්, සිංහල බෞද්ධ ප්‍රේමදාසවාදයයි මාතර ලිබරල් සමරවීරවාදයයි එකට කලවම් වෙලා ජාතික ආණ්ඩුවට නොදෙවෙනි මැලේ අච්චාරුවක් හැදේවි. ඊට වඩා මුකුත් වෙන්න නියමිත නැහැ.

මහින්ද නිහඬ ඇයි ?

ජනාධිපතිවරණය ගැන හැමෝම කතාකරනකොට, මහින්ද නිහඬයි වගේ පේනවා. ඒ නිහඬතාව නිර්මාණය වෙන්නෙ, බහි ජටා නිසා නෙමෙයි අන්තෝ ජටා නිසා බව දේශපාලනය කියවගන්න පුළුවන් අයට වැටහෙනව. මොකද, මහින්දට තමන්ගෙ කඳවුරෙන් පිටත ඕනෑම බලවේගයක් එක්ක ඩීල් එක දාගන්න ලේසියි, අභ්‍යන්තර සාමය උදාකරගන්නවට වඩා.

මොකද, මෛත්‍රී එක්ක හරි රනිල් එක්ක හරි වින් වින් සිටුවේෂන් එකක ඩීල් එකකට යන්න මහින්දට අමාරු නැහැ. එයා හිරේ විලංගුවේ නොවැටි දැනුත් ගේම් එක ප්ලේ කරන්නෙ අර දෙන්නත් එක්ක ඒ ජාතියෙ ඩීල් වලින් කියන එක කවුරුත් දන්නවා. හැබැයි, පවුලේ ප්‍රශ්නය ඊට වඩා සංකීර්ණයි. මතක තියාගන්න ඕන දේ තමයි මහින්ද කියන්නේ එවැනි සංකීර්ණතා ජයගන්න බැරි මිනිහෙකුත් නෙමෙයි කියන එක.

කෝ ගෝඨා ?

ගෝඨාබය සිංගප්පූරුවට වෙලා ඉන්නේ නඩුහබවලට තියෙන බයට කියන එක අර්ධ සත්‍යයක්. මෙතන ලස්සන තත්ත්වයක් තියෙනව. පොදුජන පෙරමුණේ සුක්කානම බැසිල් අතේ තිබ්බට, බස් එකේ කට්ටිය ඉල්ලන්නෙ ගෝඨාව. ඒක තමයි ඇත්ත. බැසිල් ඒකට එකඟ නම් ටෙක්නිකලි ගෝඨා ගොඩ. ඇත්තටම දුෂ්කර තැනක තියෙන්නේ බැසිල්ගේ එකඟතාව නෙමෙයි මහින්දගෙ එකඟතාව.

ගොඩක් අය කියන්නේ නාමල් සාධකය නිසා මහින්ද ගෝඨා එනවට එච්චරම කැමති නෑ කියල වුණත්, අපි හිතන්නේ කාරණාව ඒකම නෙමෙයි. මහින්ද කියන්නේ පොලිටීෂියන් කෙනෙක්. ගෝඨා ආවොත් සාමාන්‍ය දේශපාලනය අර්බුදයට යයි කියන එක මහින්ද හොඳටම දන්නවා. නාමල්ගේ සම්ප්‍රාප්තියට තියෙන බාධාව වගේම ජාතික දේශපාලනයේ සාමය ගැනත් මහින්ද තව පාරක් හිතනවා වෙන්න ඕන.

ශ්‍රී ලංකා එකේ සුලෝචනා කවුද ?

``එක කිරුළක් පළඳින්නට බෑ - එකම සිහසුනේ ඉන්නට බෑ - සුලෝචනා අප දෙදෙනාටම එක රජදහනක රජකරන්න බෑ`` කියල සිංදුවක් තියෙනවනේ. රනිල් හෝ එජාප අපේක්ෂකයා එක පැත්තකින් ටී එන් ඒ සහ කලිනුත් තමන් එක්ක හිටපු වෙනත් බලවේගයන් එක්ක සම්බන්ධතා තර කරගන්නවා කියන එක ස්ථිරයි. එහෙම තත්ත්වයක් තුළ, මෛත්‍රී ගෝඨා දෙන්නම ආවොත් ශ්‍රී ලංකා එක සහ පොදුජන පෙරමුණ දෙකට බෙදෙනවා. ඒ නිසා එජාපයට විරුද්ධ පිළේ දිනන සම්භාවිතාවක් සහිත `සුලෝචනා` වෙන්න පුළුවන් මේ දෙන්නගෙන් එක්කෙනෙකුට විතරයි.

`ප්‍රධාන` යැයි කියාගන්නා අයගේ හැසිරීම මූලික වශයෙන් ඔන්න ඔය විදිහයි. මේ කතාවේ තවත් පැති තියෙනව. විශේෂයෙන්ම ඇමරිකාවයි චීනෙයි ඉන්දියාවයි මොකද කරන්නේ සහ මොනවද හිතන්නේ කියන කාරණා එක්ක මෛත්‍රී රනිල් මහින්ද වැඩකරන විදිහ කෙලින්ම සම්බන්ධයි. ඒ සර්කස් එකේ කොහේ හරි තැනක චන්ද්‍රිකා ඉන්න බවත් දැනගත යුතුයි. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. කොහොම වුණත් ජනාධිපතිවරණයට අදාළව සමාජයේ තියෙන කුතූහලය මෙහෙමයි. ``ඔබ කවුද ප්‍රියේ ?``

හරියටම කියනවානම්, ``ඊළඟ අවුරුදු පහේ අපිට විහිළු කරන්න - අපිට බදු ගහන්න - අපිව මර්දනය කරන්න - පොරොන්දු කඩකරන්න එන; ඔබ කවුද ප්‍රියේ ?``

(www.comrade.lk - ඇටමැස්සා ලියයි)

 

Back to top
Go to bottom