-දයාන් විතාරණ-
90' වැනි සුවිසෙස් විය යනු මෙවැනි කාලවකවානුවක දී අපට අත්විඳිය හැකි පරමායුෂ කලාපයකි.
අදටත් අපේ විශිෂ්ටතම කලාවේදීන්-වේදීනියන් රැසක් සිය 90 වැනි විය ඉක්මවා, නීරෝගී සුවයෙන් සහ මනා මතක ශක්තියකින් අදටත් අප සහ කලා කටයුතු සමග සක්‍රීයව සිටිනු දැකීමම මහඟු භාග්‍යයකි.
කෙසේ නමුදු අපේ රටේ කලා ලෝකයේ නානාවිධ ඉසව් ජයගත් විශිෂ්ටයන් රැසකගේ 90 වැනි වියෙහි සුවිසෙස් අලේඛ්‍ය ඡායාරූපය ගැනීමට මම භාග්‍යවන්ත වූවෙමි. මෑත යුගයේ මවිසින් ගත් එවැනි ඡායාරූප එකතුවක් මේ සමග ඔබ හා බෙදාගන්නෙමි.
අපේ සිනමාවට පමණක් නොව ලෝකයා වෙත ම රූපණ සනිදර්ශනයක් වෙමින්, තමන්ගේ නාමයෙන් උඩවැඩියා විශේෂයක් පවා නම් කොට බුහුමන් ලද්දා වූ සේම ප්‍රංශයේ Muses de la Ville Paris කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශන කාණ්ඩයේ 'Irangani' නමින් සිතුවමක් පවා සංරක්ෂණය වෙමින් දෙස් විදෙස් කිත් පැසසුම් ලබන, අපේ කෘතහස්ත රූපණවේදිනී අයිරාංගනී සේරසිංහයන් ද,
අදටත් ලොවක් පුදුමයට පත් කරමින් දශකාධික කාලයක් පුරාවට ගුවන්විදුලි 'මුවන්පැලැස්ස' නිර්මාණයෙහි කෝරලේ මහත්තයා වෙනුවෙන් හඬ රඟන, එමෙන්ම වේදිකාව සිනමාව සහ ටෙලිවිෂනය යන සියල්ල රංගනයෙන්, ගායනයෙන් ඒකාලෝක කළ සම්මානිත කලාවේදී විජයරත්න වරකාගොඩ සූරීන් ද මවිසින් 90 වැනි වියේ දී ඡායාරූප ගත කළෙමි.
එමෙන්ම අපේ සිනමාවේ ගී රැජින යැයි විරුදාවලිය ලත්, එදත් අදටත් එක ලෙසින්ම දේවාශිර්වාදය ලත් හඬ මාධුර්යයෙන් ගීතවත් වෙමින් යුග පරපුර හයකටත් අධික ප්‍රමාණයක ශිල්පීන් හා එක්ව ගී ගැයීමේ පරමානුහස ද විඳි දේශමාන්‍ය, කලාසූරී ලතා වල්පොල ගායනවේදිනියන් මෙන්ම, දේශීය නර්තනවේදයේ අනන්‍යරූපී සලකුණු සටහන් කළ අද්විතීය නර්තනවේදිනියක්, විරිඳු හා ජන ගී ගායනවේදිනියක් සේම හෙළයේ ජන කලාව පිළිබඳ ජීවමාන පුරාවෘත්තයක් වූ කලාභූෂණ, දයා නෙල්ලම්පිටිය නෘත්‍යවේදිනියන් ද මවිසින් ඔවුනගේ 90 වැනි වියෙහි ඡායාරූප ගත කළෙමි.
එමෙන්ම ආසන්නතම වශයෙන් පසුගිය දා මා 90 වැන්නෙහි ඡායාරූපගත කරන ලද්දේ, අදටත් රංගනය, හඬනළුව සමග සක්‍රීයතාවයේ නිපුණත්වය ප්‍රතිභානය විෂද කරමින් සිටින වේදිකාව, ගුවන්විදුලිය, හඬනළුව, සිනමාව මතු නොව රූපවාහිනිය ද දිග්විජය කළ සම්මානිත රූපණවේදිනී නෙතලි නානායක්කාරයන් වය.
ඉඳින් 90 වැනි විය ඉක්මවා සිටින මේ සියලු සුදක්ෂ කෘතහස්ත කලාවේදීහු අප සතු අනුපමේය වස්තූන් සේ සලකා ඔවුහු වෙනුවෙන් නිර්ලෝභීව ආදර ගෞරවය පිදීම අප සතු පරම යුතුකමක් ය.
ආදරණීය ලතා අම්මා, Mrs. සේරසිංහ, දයා අම්මා, වරක්ස් අයියා මෙන්ම නෙතලි අක්කා ඇතුළු මේ ආදරණීයන් සැමට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් චිරාත් කාලයක් යෙහෙන් සුවෙන් තුටින් සියක් ආයු ලබන්නට දීර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි !!!
(උපුටා ගැනීම අවසන්)
(පහතින් දැක්වෙන්නේ දයාන් විතාරණ විසින් ලබා ගනු ලැබූ එම ඡායාරූප පෙළයි.)





(මෙම ඡායාරූප උපුටා ගැනීම 'Dayan Witharana' ෆේස්බුක් පිටුව ඇසුරින් වන අතර ඡායාරූප වල අයිතිය ඡායාරූප ශිල්පී දයාන් විතාරණ සතු වේ.)




