lan englan tam

පුවත්

විජේතුංග සරසවියේ ගෙවුණු දවස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
අතීතය ස්මරණය කරන විට විටෙක සතුටක්ද විටෙක ශෝකයක්ද මසිතට නැගෙයි. සතුට, අප තවමත් ජීවත්ව සිටීමය. ශෝකය, එදා අප සමඟ සිටි මිතුරන්ගේ වියෝවය. මගේ මාධ්ය ජීවිතයට මේ වන විට වසර 43ක් ගතවී ඇත්තේය. එහෙත් මා මාධ්යයට කැඳවූ ඒ සොඳුරු මිනිසා අප හැර ගොස් මේ වන විට 21 වසරක් ගෙවී ගොසිනි.

 මා ගාමිණී විජේතුංග නම් වූ අපූරු මිනිසා මිනිසා හඳුනා ගත්තේ ජයම්පති රූපසිංහ හිතවතාගෙනි. ඒ 1980 වසරේ අග භාගය විය.

පුවත් සඟරා සංකල්පය සිංහල පාඨකයාට හුරු කරනු ලැබුවේ ආචාර්ය සරත් අමුණුගම මහතාය. ‘දෙසතිය’ සඟරාව උපත ලැබුවේ එහි ප්රතිඵලයක් ලෙසටය. සිරිල් බී. පෙරේරා පළමු සංස්කාරකවරයා වූ අතර ඔහුගෙන් පසු සංස්කාරක වූයේ ඩී. බී. වර්ණසිරිය. දෙසතිය ආරම්භයේ සිටම එහි විශේෂාංග ලේඛකයකු වූ ගාමිණී විජේතුංග වර්ණසිරිගේ නික්ම යෑමෙන් පසු එහි සංස්කාරකවරයා බවට පත් වූයේ මේ වකවානුවේය.
ඒ අප සිනමාව, නාට්යකරණය හා ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය පිළිබඳව පාඨමාලාවක් හදාරමින් සිටි සමයයි. සේකරගේ කවියෙන් ජීවිතය හදාරමින් සිටි අපටද කවි ලිවීමේ ආසාවක් තිබිණි. ඒ නිසා මාත් පාලිත තේනුවරත් ඊයේ අද සහ හෙට නමින් කවි පොතක් ලිවුවෙමු. එය මුද්රණය කර ගන්නට මුදල් නොමැති වූ බැවින් අප කළේ කවි අතින් ලියා එයට අප මිතුරන් වූ චන්ද්රගුප්ත තේනුවර සහ ඉන්ද්රනාථ තේනුවර ලවා චිත්ර ඇඳ ඡායාපිටපත් කර මිතුරන් අතරේ අලෙවි කිරීමය.. දිනක් මේ පොතක් අපගේ සිනමාකරණ පන්තියට ගෙන ගිය අවස්ථාවත එහි ගුරුවරයකු වූ ජයම්පති රූපසිංහ මහතා ( ප්රවීණ නිවේදක අමරබන්දු රූපසිංහගේ සොහොයුරු) ඉල්ලා ගත්තේය.
ජයම්පති සහ ගාමිණී විජේතුංග සමීප මිතුරන්ය. දිනක් ජයම්පති අත අපේ පොත තිබෙනු දුටු ගාමිණී විජේතුංග එය ඉල්ලා ගෙන කියවා තිබිණි. නවකයන්ට අතහිත දීමට සැදී පැහැදී සිටි ඔහු දෙසතිය කාර්යාලයට පැමිණ තමා හමුවන ලෙසට ජයම්පති අත අපට පණිවිඩයක් එව්වේය. එම ඇරියුමින් දෙසතියට ගිය අපට පළමු වරට ගාමිණී විජේතුංග දැක ගැනීමට ලැබිණි. ආරම්භයේ සිටම දෙසතිය සඟරාවට ලැදිව සිටියද එතෙක් ඔහු හමුවී තිබුණේ නැත. අපේ කවිය පිළිබඳ විශේෂාංග ලිපියක් දෙසතියේ සමන් වික්රමාරච්චි ලවා ලියා පලකළ ගාමිණී නොබෝ දිනකින් මා ද පාලිතද දෙසතිය සංස්කාරක මණ්ඩලයට එක් කර ගත්තේය. 1981 ජනවාරියේ මා දෙසතිය සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයකු වීමි.මා මාධ්ය කලාවේ හෝඩිය කියවූයේ ගාමිණී විජේතුංගගෙනි. එතැන් සිට විශේෂාංග ලේඛකයකු ලෙසද, ඡායාරූප ශිල්පියකු ලෙසද දෙසතියට දායක වූ මම පසුව එහි රූ රටා හා ඡායාරූප සංස්කාරකවරයා වීමි.
දෙසතියේ ස්වර්ණමය යුගය වූයේ ගාමිණී විජේතුංග යුගයයි. නිර්මාණශීලි ලේඛකයකු, පරිවර්තකයකු, නිදහස් මතධාරියකු, රූ රටා විශේෂඥයකු, කවියකු, රසිකයකු හා මනා දැනුම් සම්භාරයකින් පෝෂණයව සිටියකු වූ ගාමිණී විජේතුං යටතේ මාධ්ය කලාවේ අත්පොත් තබන්නට මම වාසනාවන්ත වීමි.
ගාමිණී අධ්යපානය ලැබුවේ විද්යා අංශයෙන් වූවද ඔහුගේ වැඩි නැඹුරුවත් තිබුණේ කලාවටය. එබැවින් ඉතා සාරගර්භ විද්යා ලිපි මෙන්ම සිනමාව, වේදිකාව, කවිය හා ගීතය, පිළිබඳ පුළුල් දැනුමක් ඔහුට තිබිණි. දෙසතිය සඟරාව තුළින් ලොව නව දැනුම තම පාඨකයාට තිළින කරන්නට ඔහු සෑම ප්රයත්නයක්ම දැරීය. ටයිම්, නිව්ස්වීක්, ඒෂියා වීක්, නිව් සයන්ටිස්ට්, ඉන්ඩියා ටුඩේ වැනි සඟරා පරිශීලනය කළ ඔහු ඒවායේ වූ නව දැනුම උකහා ගත්තේය. ඔහු නිතර අලුත් යමක් ඉදිරිපත් කිරීමට උත්සුක විය. දිනක් මා ඇමතූ ඔහු මෙසේ කීය. “සුරේෂ් ෆොටෝග්රෆිවල තියෙනවා ‘ෆොටෝ එසේ’ කියල සංකල්පයක්. කිසියම් සිදුවීමක් හෝ පුද්ගලයකු පිළිබඳව හෝ එක් ප්රධාන ඡායාරූපයක් කේන්ද්ර කරගෙන තවත් ඡායාරූප කිහිපයකින් කිසියම් සුවිශේෂී සිදුවීමක් වඩා විශ්වසනීයත්වයකින් යුතුව පාඨකයාට ලබා දීමයි ඉන් සිදු වන්නේ. ඔයාට පුලුවන් නම් ඒ වගේ එකක් දෙසතියට නිර්මාණය කරන්න උත්සාහ කර බලන්නැ”යි කියූ ඔහු ඉන්ඩියා ටුඩේ සඟරාවේ පළවී තිබූ රඝු රායිගේ ඡායාරූප සමුච්ඡයක් මට පෙන්වීය. “ෆොටෝ එසේ” යන්නට ඔහු අලුත් සිංහල වදනක්ද තැනුවේය. එය‘ රූප රචනාව’ නම් විය. අමරදේව මාස්ටර්, සුනිල් ආරියරත්න, ගුණදාස අමරසේකර, ගල්වැඩ පොළක කම්කරුවන්ගේ එදිනෙදා ජීවිතය, ධීවරයකුගේ ජීවිතය වැනි රූප රචනා රැසක් දෙසතියෙන් ඉදිරිපත් කිරීමට මට හැකිවූයේ ඔහුගේ එම දිරිගැන්වීම නිසාය.
එවක තිබූ අනෙකුත් සඟරා අතර ඉදිරියෙන් සිටින්නට දෙසතියට හැකි වූයේ ඔහු තුළ වූ ඒ නව දැක්මට පින්සිදු වන්නටය. ගාමිණි කිසි විටෙක අපට අණ දුන්නේ නැත. ඔහු සැම විටම කළේ මග පෙන්වීමය. ලිපියකට හෝ ඡායාරූපයකට හෝ රූ රටා නිර්මාණයට හෝ අපගේ හැකියාවන් නිදහසේ එක් කිරීමට ඔහු අවකාශ සැලසීය. කිසියම්අඩුපාඩුවක් තිබුණේ නම් එය පෙන්වා දුන්නේය.
දෙසතියේ සුවිශේෂී ලක්ෂණය වූයේ එහි ලිපි සඳහා යොදා ගැනුණු සිරස්තල සහ ඡායාරූප සඳහා යොදාගත් උප ශීර්ෂයන්ය. ගාමිණී යෙදූ සිරස්තල කාව්යමය, නැවුම් හා අති ප්රබල ඒවා විය. සියාගේ උල් දත්, වේදිකාවට දැන් විනෝද සමය, පහන් කන්ද මුල අඳුර, සිනමාවේ කලියුගය සහ යුගාන්තය, කෙතක මහිම බල කොම්පියුටර බැඳීලා, මන්ද වල් බිහිවන්ට කාරණ, දුකට මුල තමයි රැකියා නැතිවීම, කොළඹින් දික්කසාද වන රජයේ සේවකයෝ, දත් නැති අශ්වයෝ අපට එපා, ගර්හිත සොහොනින් නැගිට ආ බස් රිය, ශාරදාකාසයේ තාරකාවක් නොවී වැනි යෙදුම් එයට නිදසුන්ය. සිංහල භාෂාවට නව වදන් රැසක් ඔහු අතින් නිර්මාණය විය. දෙසතියේ කවරයේ කතාව, පුවත් මවන්නෝ, විද්යා ලිපි හා ඇතැම් විට විදේශ විත්ති ලියැවුණේ ගාමිණී අතිනි.
සිංහල සිනමාවට දෙසතිය සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ බැව් කිව යුතුය. මෙරට විචාරක පරපුරේ තුන්වැනි පරපුර නියෝජනය කළ ගාමිණී තරුණ සිතුම් පැතුම් හඳුනාගත් විචාරකයකු විය. බටහිර විචාර කලාවේ සාධනීය මිණුම් දඬු ඔස්සේ ඔහු නව්ය වූ විචාර කලාවක් මෙරට පාඨකයාට තිළින කළේය. කවිය , ගීතය, නාට්යය හා චිත්ර කලාව සම්බන්ධයෙන්ද ඔහු එම දෘෂ්ටියේ පිහිටා කටයුතු කළේය.
පොත් ගුල්ලෙකු වූ ගාමිණී බ්රිතාන්ය කවුන්සිලයේ සහ ඇමෙරිකානු මධ්යස්ථානයේ පුස්තකාල නිතර පරිහරණය කළේය. ස්වෝත්සාහයෙන් ඉංග්රීසිය හැදෑරූ ඔහු විශිෂ්ඨ පරිවර්තකයකු වූ අතර විදෙස් ග්රන්ථ කිහිපයක සිංහල පරිවර්තන මෙරට පාඨකයාට තිළින කළේය. අර්ජුන්, පියාපතක් වන් ජීවිතයක් ඉන් කිහිපයකි. ඔහු තම ශාස්ත්රපති නිබන්ධනය සඳහා ඉදිරිපත් කළ ශ්රී ලංකාවේ පුවත්පත් අයිතිය සහ දේශපාලන සන්නිවේදනය නම් කෘතිය මුද්රණයෙන් පළ වූයේ ඔහුගේ අභාවයෙන් පසුවය.
ගාමිණී ගුවන් විදුලි පිටපත් රචකයකු හා ගීත රචකයකුද විය. 70 දසකයේ ඔහු ලියූ ළමා ගීත අතර ලලිත් සිරිවර්ධන ගැයූ උදෑසනම පොඩි අප දිව එනවා, දමයන්ති ජයසූරිය ගැයූ හොර පූසෙක්, වැනි ගීතද, ටී. එම් ජයරත්න ගැයූ නුහුරු රටේ, කල්පනාවෝ, ලා හිරෙන්, මා වාගේ ලඟින්, නීලා වික්රමසිංහ ගැයූ දවසක් දා වසන්ත සැනකෙලියේ පින්තාලිය බිඳිලා අම්බලමේ, , නන්දා පතිරණ ගැයූ මල් වනේ රෝස කැකුළු වැනි ගීතද, ජීවිතේ අමධාරා, සුනිල්වන් වළා වැනි චිත්රපට ගීත හා අවසන් කාලයේ රචනා කළ සේනානායක වේරලියැද්ද සහ නිරෝෂා විරාජිනී ගායනා කළ බංගසාල වීදියේදි වැනි ගීතද සුවිශෙෂිතය.
චිත්රපට තිර කතා රචකයකදු වූ ගාමිණී එච්. ඩී. ප්රේමරත්න අධ්යක්ෂණය කළ සහරාවේ සිහිනය චිත්රපටයේ තිර රචකයා විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ හා සුමිත්රා පීරිස්ගේ චිත්රපට සඳහා ප්රචාරක නිර්මාණ දායකත්වය ඔහුගෙනි. දෑස නිසා, මඩොල්දූව, අහසින් පොළොවට, ගැහැණු ළමයි, ගඟ අද්දර, සාගර ජලය වැනි නිර්මාණවල ප්රචාරක පිටපත ලියවුණේ ඔහු අතිනි. පාසල් සිසුන් පිරිසක් එක්ව නිර්මාණය කල නිම් වළල්ල චිත්රපටයේ ප්රචාරක සටහන් ලියවුනේද ඔහු අතිනි.
ගාමිණී විජේතුංග යනු එක් චරිතයක් නොවේ. ඔහු තුළ කවියකු, ගීත රචකයකු, විචාරකයකු, මාධ්යවේදියකු, චිත්රපට තිරකතා රචකයක, චිත්රපට ප්රචාරණ ශිල්පියකු හා ගුවන් විදුලි පිටපත් රචකයකු වැනි චරිත රැසක් සිරවී සිටියේය. එදා දුහුනන් වූ අපට ඔහු ගුරුවරයකු විය. මඟ පෙන්වන්නකු විය. අපට වඩා වයසින්, දැනුමින් හා පළපුරුද්දෙන් පරිණතව සිටියද ගාමිණී විජේතුංග අපට සමීප මිතුරකු විය. අප අද මාධ්ය ලෝකයේ යම් ස්ථානයක් අත්පත් කරගෙන සිටීද එහි ගෞවරවය නිබඳව හිමිවිය යුත්තේ ගාමිණී විජේතුංග නම් ඒ සොඳුරු මිනිසාටය.
ජීවිතේ අම ධාරා - උල්පතේ රස උතුරා
කෝ සුපෙම් රස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා
ඈත නිල්වන් ගුවනේ - පියාඹන ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේදෝ
 
සටහන සහ ඡායාරූප ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා වෙතිනි.

 

 

Back to top
Go to bottom

Popular News