lan englan tam

C Chatඑක

‘ඕකුන් දිහාවේ ඕනෑවට වඩා බලන්න එපා ඇඳ ගනියි’ කියලා කියනවා මං අහගෙන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

බාධක කම්කටුල මැද අප සිනමාකරුවෝ සිනමාකරණයේ යෙදෙති. දිනෙන් දින සිනමා කර්මාන්තයේ ඇති ගැටලු උඩු දුවනවා මිසක විසඳුමක් නම් පෙනෙන්නට නැත. ඇතැම් වගකිව යුත්තන්ද උඩුගම් බලා පිහිනනු නොරිසියෙන් වැල යන අතටම මැස්ස ගසමින් සිටී. මොන දේ වුණත් අප සිනමාකරුවන් චිත්‍රපට හදන එක නවත් වන්නේ නැත. එය හරියට ෆේස් බුක් බ්ලොක් කළ ද විකල්ප අනුසාරයෙන් කෙසේ හෝ ෆේස් බුක් ලොග් වූවා හා සමානය. චිත්‍රපට ලංකාවේ තහනම් කළ ද හදන්නන් චිත්‍රපට හදන එක නතර වන්නේ නම් නැත. ඔවුන් එම තීරණයට ද බැන බැන චිත්‍රපට හැදීමට පුළුවන්. ඒ ලංකාවේ උදවියගේ හැටිය. අර්ජුන කමලනාත් ද එසේමය.

‘මං ආයේ චිත්‍රපට හදන්නේ නෑ මල්ලි‘

ඔහු කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ ඉඟිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටය හි මංගල දර්ශනය දා ඔහු මා හා පැවසුවේ එවැන්නකි. ඒත් සමඟම තව බොහෝ දේ ඔහු කීවේ සිනමා කර්මාන්තය ගැනම කලකිරීමෙනි. එහෙත් අර්ජුන චිත්‍රපට හැදීම නතර කළේ නම් නැත. අර්ජුනගේ නවතම සිනමාපටය කුසල්ය. එය ළමයින් වෙනුවෙන් තැනූ එකකි. මේ වන විට අර්ජුන සිටින්නේ පෙර මෙන්ම යම් කලකිරීමකිනි. සිනමාව වරෙක සතුට ගෙනාවත් ඊටත් නොදෙවෙනි අන්දමින් දොම්නසත් අර්ජුනට රැගෙන විත් තිබේ.

අර්ජුන, කඩේක මුදලාලිගෙන් කඩේ තිබෙන බඩු භාණ්ඩ කොහොමද කියලා ඇහැව්වොත් මුදලාලි ඒවා නරකයි කියලා කියන්නෙ නැහැනෙ. ඒක නිසා මං ඔබෙන් අහන්නේ නැහැ කුසල් චිත්‍රපටය මොන වගේ ද කියලා. මොකද ඔබ ඒකට නරකයි කියලා කියන්නේ නැති නිසා ?

ඔව්. ඒකට කමක් නැහැ.

කුසල් ඔබේ දෙවැනි අධ්‍යක්ෂණය. තාරුණ්‍යයට චිත්‍රපටයක් කරන්න ඕන කියලා ඔබ පවසමින් සිටි යුගයක කුසල් වගේ ළමා චිත්‍රපටයක් තනන්නේ ඇයි?

තාරුණ්‍යයට මං තව චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙ නම කුණාටුවේ මාරයා. ඊට පෙර මං කුසල් අධ්‍යක්ෂණය කළේ. මට හිතුණා ළමයි අතර හිට් චිත්‍රපටයක් හදන්න. මිනිසාගේ පියා ළමයා කියා කතාවක් තියෙනවානෙ. ළමයාගේ මනසට හරවත් යමක් දායාද කරන්න හිතාගෙනයි මං කුසල් තැනුවේ.

නමුත් ඔබ යම් තැනකදී අසාර්ථක වෙනවා?

නැහැ. ඒ චිත්‍රපටය අසාර්ථක නැහැ.

චිත්‍රපටය අසාර්ථකයි කියලා නෙවෙයි මං කිව්වේ. ඔබේ අරමුණ අතින් ඔබ අසාර්ථකයි. ඒ ගැන මං ඇහැව්වේ?

ඔය ප්‍රශ්නය මං ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේකෙන් පස්සේ මං ආයේ කවදාත් ළමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ නැහැ කියලා හිතා ගත්තා. ඒකට හේතුව වුණේ මේකයි. ළමා චිත්‍රපටයක් කළාට මං අද කාලේ ළමයි ගැන ස්ටඩි කළේ නැහැ. දැන් පොඩිවුන් ගෙවන්නේ යන්ත්‍ර වගේ ජීවිත. උදේ ඉස්කෝලේ යනවා, හවස ටියුෂන් යනවා. සෙනසුරාදා, ඉරිදා ගෙදර ඇත්තෙම නැහැ. ටියුෂන්, ටියුෂන්, ටියුෂන්. සෙල්ලම් කරන්නවත් කාලයක් නැහැ. ඉතින් කොහෙද ළමයි චිත්‍රපටයක් බලන්න එන්නේ. ළමයින්ව මේ වන විට කලාවෙන් ඈත් කරලයි තියෙන්නේ. එ හින්දා ළමයි වුණත් සංවේදී නැහැ. ඇවිදින කතා කරන රොබෝවරු පිරිසක් තමයි අනාගතයේදී අපට දක්නට ලැබෙන්නේ.

කුසල් චිත්‍රපටය ඔබ හිතපු තරම් ආදායමක් ලැබුවාද?

නැහැ. ඊට තදින්ම බලපෑවේ ඉකුත් දිනවලදී තිබුණු වැස්ස. ඒක ලොකු බාධකයක් වුණා. වහිද්ද කොහොමද පවුල් පිටින් චිත්‍රපටයක් බලන්න එන්නේ?

ඒ වගේම ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඔබට ප්‍රමණවත් ශාලා සංඛ්‍යාවක් නොලැබුණා කියලා ආරංචියි?

සැලකිය යුතු ශාලා කිහිපයක් මට ලැබුණා. ඒත් සීගිරි කටුගස්තොට, කටුනායක රූ, මෙට්‍රෝ නුගේගොඩ ආදී ප්‍රධාන නගරවල ශාලා මට ලැබුණේ නැහැ. බොරැල්ලෙත් එහෙමයි. කොළඹ සහ ගම්පහ රීගල් එක ෂෝ එකයි මට දුන්නේ. කටුගස්තොට ශාලාවට ආව එකසිය ගානක් ආයේ හරවලා යවන්න සිදුවුණා. ඒ වගේ තත්ත්වයන් මට සෑහෙන්න බලපෑවා. ඒක මණ්ඩලයට දැනෙන්නේ නැහැ. අධ්‍යක්ෂවරයා විදිහට මං යම් සීමාවක් ඇතුළේ වැඩ කළේ. ඉතුරු වුණේ පසුතැවීම විතරයි. මා ඉහත සඳහන් කළ ශාලා අයිතිකරුවන් සහ මණ්ඩලය අතර පෞද්ගලික කචල්. ඒවා ගියෙත් මගේ පිටින්. ඒ අතරේ මාතර හෝල් කාරයෙක් දිගින් දිගටම මට අරියාදු කළා. ඒ අය පෞද්ගලික ප්‍රතිපත්ති දාගෙන. ඒවට අනුගත වෙන්න නම් මොනවා කරන්නද කියන්න මං දන්නේ නැහැ. දැන් හිතෙනවා මං වැඩේ අනාගත්ත දෝ කියලා.

අර්ජුන කමලනාත් නමැති නළුවා එන්න එන්න යටපත් වෙන බවක් පේනවා?

රංගනය ගැන මට ඇති ආසාව ක්‍රමයෙන් අඩුවීමක් තිබෙනවා. ඒක එන්නේ හිත් වේදනාවකුත් සමඟයි. ඉස්සර නළුවන්ට හොඳ පිළිගැනීමක් තිබුණා. ඒක නැති වුණේ අප අතින්මයි. ඉස්සර සාමාන්‍ය කෙනෙකුට නළුවකුට ළං වෙන්නත් අමාරුයි. අද ළඟටම ඇවිත් සෙල්ෆි ගහනවා. සෙල්ෆිය ගත්තට පස්සේ ඒ ගත්තු තැනැත්තාට තමන් එක්ක පින්තූරේට හිටිය නළුවව හෝ නිළියව අදාළම නැහැ. ඇයි ඉතින් සෙල්ෆිය අරගෙන ඉවරයිනෙ. පාරෙ ෂූටිං තියෙනවා නම් නළු නිළියෝ කාටත් පෙන්න කෑම කනවා. සමහරු කන්න පෙරේතයෝ වගේ. මේ නිසා නළු නිළියන්ව ගණන් ගන්නේ නැති තත්ත්වයට පත්වෙලා. ‘ඕකුන් දිහාවේ ඕනෑවට වඩා බලන්න එපා ඇඳ ගනියි’ කියලා කොල්ලො දෙන්නෙක් ඉන්න තැන එක කොල්ලෙක් නළුවෙක් දිහා බලද්දී අනෙක් කෙනා කියනවා මං අහගෙන. ඉතින් කවර කතාද. මේ වනවිට මං රංගනයට ලැබුණු චිත්‍රපට හතක් ප්‍රතික්ෂේප කරලයි ඉන්නේ. මහ පාන්දර නැගිටගෙන ෂූටිං ගිහිල්ලා කාටද මේ කරන්නේ කියලා මට හිතෙනවා. ඊට වඩා හොඳයි මේ ඉන්න පාඩුවේ ඉන්න එක.

ඔබ ජයන්ත චන්ද්‍රසිරි හා එක්වන්නේ සිනමා ලොව තුළ ඔබට කළ නොහැකි දේ ඔහු හරහා කර ගැනීමටද?

මට ජයන්ත මහත්මයා ළඟට ළං වෙන්නවත් බැහැ. ඔහු එතරම්ම දැවැන්තයි. ඔහුගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට ලැබීම මං ලද භාග්‍යයක් කොටයි මං සලකන්නේ. මේ සිනමාවට මං ආදරෙයි. මට නිර්මාණ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහා ගිය දෙයක් කරන්න ඕන නිසයි ජයන්ත අයියා හා එක්ව මං චිත්‍රපටයක් කරන්නේ.

ඔබ ඒ අතරේ සුරංග ද අල්විස් සමඟින් එකතු වී චිත්‍රපට ශාලා අලුත්වැඩියා කිරීමක් කරගෙන යනවා?

ඔව්. ඒක සමස්ත ජනතාවටම කරන සේවයක්නේ. එහෙම අලුත් වැඩියා කළ ශාලාවක ළමයින්ට කුසල් පෙන්වන්න ගිහින් මම අමතක නොවන අත්දැකීමකට මුහුණ දුන්නා. එතැන ළමයි 92 ක් හිටියා. කිව්වට විශ්වාස කරන්න මේ අනූදෙකම ළමයි ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලලා නැහැ. ඔවුන් එදා උඩ පැන පැන අත්පොඩි ගගහා චිත්‍රපටය බැලුවේ.

ඔබ පරපුරේ බොහෝ දෙනෙක් අද වන විට ජනප්‍රිය රූපවාහිනී රියැලිටි වැඩ සටහන්වලට සහභාගි වෙනවා. ඒත් ඔබ ඒවාහි නැහැ?

රියැලිටිවලට යන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඒවට ගියාම අගය අඩු වෙනවා. සමහර ආර්ටිස්ට්ලා එස්. එම්. එස් ඉල්ල ගන්න වඳින වැඳිල්ලට දුක හිතෙනවා ඇයි ඒ තත්ත්වයට පත් වුණේ කියලා

සටහන - ප්‍රසාද් සමරතුංග

සේයාරූ - නිශ්ශංක විජේරත්න

 

Upcoming Events

No upcoming event!
Back to top
Go to bottom

Popular News