මහින්දට හරි ලස්සනට ගීත ගයන්න පුළුවන්කම තිබුණත් එයා සර්පිනාවට ආදරය කළා මිස ගීත ගයන්න කිසි උනන්දුවක් දැක්වූයේ නැහැ.
ඒත් එයා ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. ළමයි මං ගැන කොහොම බැලුවත් මහින්ද නැති පාළුව මට නිරතුරුවම දැනෙනවා. එයා අවුරුදු අසූවෙන් නැති වුණා. ලෙඩක් දුකක් තිබුණේ නැහැ. හදිසියේ එයා නැති වුණා. මහින්දයි, මමයි හිටපු ගෙදර මගේ හුස්ම ටිකත් කවදා හරි දවසක නතර වනතුරු මං ඉන්නවා. මං පුළුවන් තරම් පිං කරනවා. දන් දෙනවා.
සිල් රකිනවා. මහින්ද අවසන් හුස්ම හෙළද්දි මං එයා ළඟම සිටියා. මං පිරිත් කිව්වා. ආදරෙන් ළං වෙලා ඉඳලා එක්කෙනෙක් අත්හැරුණාම දැනෙන හැඟීම ඇති මේ සසරේ බියකරු බව අවබෝධ කරගන්න කියලා මම නිතර ම හිතනවා. සංගීතය කියන්නේ ඉතාම සංවේදී කලාවක්. ඒ සංවේදී කලාව ඇසුරෙන් අපි ගායනා කරන ගීත ශ්‍රවණය කරද්දී ශ්‍රාවකයින්ගේ සිත්වල හැඟීම් වඩවනවා.
ඒ ගැඟීම් ඔස්සේ පෘතග්ජන මිනිසුන් කිනම් කාර්යයක් සඳහා පොලොඹවයි ද කියලා හිතාගන්න බැහැ. බුදු දහම අනුව ගැඹුරට කල්පනා කරද්දි අද මට හිතෙනවා සංවේදී ගීත ගායනා කරලා, ශ්රාවකයින්ට රස හැඟීම් දීලා මම අකුසල කර්ම රැස් කර ගත්තා නේද කියලා. නච්ඡ, ගීත, වාදිත, විසූක දස්සන කියන්නේ වැළකිය යුතු දේවල් කියලා බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.
ඒ කියන්නේ නැටුම්, ගීත, වාදන, නාට්‍ය ආදියයි. ඉතින් මමත් මේ හතරෙන් එකක ඉන්නවා. මම ජීවිතය දිහා දැන් බලන්නේ ඒ විදිහටයි. හැබැයි මට ආපහු හැරිලා බලද්දි එක සතුටක් තියෙනවා. මම කාගෙවත් කකුලෙන් ඇදලා, තව කෙනෙකුගේ අවස්ථාවන් නැති කරලා ගායන ක්ෂේත්රයේ බැබළුණේ නැහැ. මට වෙන අයගෙන් එහෙම වෙද්දි මම හඹාගෙන ගියෙත් නැහැ. පසුබැහැලා නිහඬ වුණා. අදටත් මම සතුටින් ඉන්නේ ඒ නිසයි.“
-rasanduna -



