lan englan tam

කාලගුණ අවදානම ඉදිරි දින වලදී ඉහලට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව විශේෂයෙන්ම හෙට (23) සහ අනිද්දා (24) දෙදින තුළ නිරිත දිග වැසි මෝසම මෙරට ස්ථාපිත වීමත් සමග මෙලෙස වැසි තත්ත්වයේ වැඩි වීමක් බලා‍පොරොත්තු විය හැකි බව කාලගුණ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවැසීය.

මේ අතර අද (22) දිනයේදීත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඒ මහතා කීය. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර වැසි ඇතිවිට සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 පමණ දක්වා වැඩිවිය හැකිය.

පුත්තලම හා ගාල්ල හරහා ‍පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේද රළු ස්වභාවයක් ගතහැකි බැවින් ධීවර හා නාවික කටයුතුවලදී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඊයේ (21) උදෑසන 8.30 වන විට වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 353ක වර්ෂාපතනයක් පුත්තලම දිස්ත්‍රික්කයට ලැබි තිබිණි. ඊට අමතරව ආඩිගමට මිලිමීටර 339ක්, මාත‍ලේට 267ක්, රත්නපුරයට 232.6ක්, කුලියාපිටියට 232.5ක්, කුකුළේ ගඟ ප්‍රදේශයට මිලිමීටර 227ක්, කමන්දොළුව ප්‍රදේශයට 316ක්, හොරගස්ආර ප්‍රදේශයට 232ක්, දුම්මලසූරිය ප්‍රදේශයට 217.4ක්. රත්නපුර දෙල්වල ප්‍රදේශයට මිලිමීටර 203.5ක්, දම්පැලැස්ස ප්‍රදේශයට 196.8ක්, ගාල්ල ‍පෝද්දවෙල ප්‍රදේශයට මිලි මීටර 190.8ක් ආදී වශයෙන් වර්ෂාපතන ලැබි තිබිණි.

ගයාත්‍රි ගීගන ආරච්චි / ප්‍රසාදිකා ජයවර්ධන