lan englan tam

“එක් තීරයක් එක් මාවතක්” පස්වැනි සංවත්සරය කොළඹදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

 

“එක් තීරයක් එක් මාවතක්” පස්වැනි සංවත්සරය කොළඹදී

21 වැනි සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ගය ලොවට හඳුන්වා දී පස් වසරක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය විසින් විදේශීය රටවල මිත්‍රත්වය සඳහා වන චීන ජනතා සංගමය(CPAFFC) සමඟින් එක්ව සංවත්සර උළෙලක් ඇතුළු වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබේ.

එය ඔක්තෝබර් 24 වැනිදා උදැසන 10 ට කොළඹ ගලධාරි හෝටලයේ දී ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය පවසයි.

ප්‍රධාන සමුළුවට සමගාමිව එක් තීරයක් එක් මාවතක් ආර්ථික මණ්ඩපය, සංස්කෘතික, සංචාරක හා මිත්‍ර ප්‍රවර්ධන මැයෙන් තේමා හතරක් යටතේ සාකච්ඡා මණ්ඩප 4 ක් එහිදී පවත්වනු ඇත.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය සහ චීන මිත්‍රත්වය සඳහා වන දකුණු ආසියානු සංගමයේ(OSARFFC) සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පාර්ලිමේන්තු කතානායක කරූ ජයසුරිය එක් වීමට නියමිතය.

එසේම මෙරට චීන තානාපති චෙං ෂියුවන්, අමාත්‍ය පාඨලී චම්පික රණවක, OSARFFC සංගම් සභාපති අනුප් රන්ජන් බට්ටාරි, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගම් සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර ඇතුළු බංග්ලාදේශ, ඉන්දියාව, නේපාලය, මාලදිවයින යන රටවල නියෝජිත පිරිසක් මෙම සමුළුවට සහභාගී වේ.    

චීන ජනපති ෂී ජින්පින්ගේ සංකල්පයක් වන 21 වන සියවසේ සේද මාවත හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන උපාය මාර්ග වැඩසටහන ලොවට හඳුන්වා දෙන ලද්දේ 2013 වර්ෂයේ දී ය.

අතීත සේද මාවත ඔස්සේ සිදුවු වෙළදාමට නව පණක් පොවමින් සමස්ත ලෝකයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි රටවල් 78ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

ඒ සඳහා චීනය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 5ක් ඇස්තමේන්තු කර ඇත. එමඟන් ප්‍රවාහන හා බලශක්ති ක්‍රියාවලියට අයත්වන මාර්ග,පාලම්,ගෑස් නළ,වරාය,දුම්රිය සේවා සහ බලාගාර ඉදිකිරිමට කිරීමට යෝජනා කෙරේ.

එක් තීරයක් එක් මාවතක් සංකල්පය කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර මධ්‍යම ආසියාව මැද පෙරදිග හරහා පැවති ඉපැරනි සේද මාවත (One Belt One Road) ඔස්සේ ද, එමෙන්ම ආසියාව අප්‍රිකාව හා යුරෝපා රටවල් සමඟ සම්බන්ධතා තර කර ගැනීම යටතේ සමුද්‍රික සේද මාවත (One Road Initiative) ඔස්සේ ද ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවද එක් තීරයක් එක් මාවතක් වැඩ සටහන යටතේ ඇති ප්‍රධාන මධ්‍යස්ථානයකි.