lan englan tam

පුවත්

'American Symphony' (2023)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ඩොකියුමන්ට්රි ලවර් කෙනෙක් විදිහට සෑහෙන්න විඳපු නිර්මාණයක්. මේ එක්කම අවධානය යොමු කරන්න හිතුණා මෙහි අධ්යක්ෂකවරයා Matthew Heineman වෙතටත්. පිරික්සා බැලුවා ඔහුගේ අනෙකුත් ඩොකියුමන්ට්රි වැඩ ගැනත්. බලන්න ආසාවක් ආවා ඒ මාතෘකා දිහා බැලුවමත්. Rosamund Pike විසින් විශිෂ්ඨ චරිත නිරූපණයක් සිදුකළ, ලංකාව ගැනත් කියවෙන A Private War (2018) biographical war drama එකත් මෙයාගෙ නිර්මාණයක්. එතකොට මේක biographical documentary එකක් ඇමරිකානු සංගීත ක්ෂේත්රයට බිහි වූ අපූර්ව සංගීතඥයෙක් සම්බන්ධයෙන්. අධ්යක්ෂකවරයා සම්බන්ධයෙන් ඒ දේවල් මතක් කළේ මේ වැඩෙත් ඉස්තරම් කියල කියන්නයි.

 

Jon Batiste ගැන අහල තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. Grammy සම්මාන 20 කට නොමිනේට් වෙලා සම්මාන 5 ක් දිනාගන්නටත් ඔහු සමත් වෙනවා. දිනුවෙ එකම අවුරුද්දක වීමත් සුවිශේෂී අවස්ථාවක්. ඒ විතරක් නෙමේ ඇකඩමි, BAFTA, ගෝල්ඩන් ග්ලෝබ් යන සිනමා සම්මාන ජයග්රහණත් ඔහු සතුයි. එතකොට මෙහෙව් වැඩ්ඩෙක්ව ලෝකයා හඳුනන්නේ නැද්ද? එහෙමත් නැතිනම් ලොකු ලොකු සංගීත තරු ඉදිරිපිටදී අපිට ඔහුව නොපෙනුණාද? ඉතින් ඔහුගේ මේ අපූර්ව සංගිත දිවිසැරිය ගැන දැනගන්නයි මේ ඩොකියුමන්ට්රි එක බලන්න ඕන වුණේ, හැබැයි දකින්නට ලැබුණා ඔහුගේ සංගීත දිවිය තුළදීම ඔහුගේ බිරිය හා බෙදාගන්නා ආදරය සම්බන්ධයෙන් ඉතාම හැඟීම්බර විස්තරයකුත්.
American Symphony නම් මහා ඔකෙස්ට්රා සංගීත කර්තව්යය සිදුකරන්නට Jon Batiste ට සිද්ධ වෙන්නේ බෙස්ට් සෙලින් කතුවරියක් වෙච ඔහුගේ ප්රිය බිරිය Suleika Jaouad බැරෑරුම් මට්ටමක ලියුකේමියා රෝගයට ගොදුරු වී ඉන්න සමයකදීයි. අර තරම් බරට ග්රැමී සම්මාන ඇගයුමකට ලක්වෙන්නේත් ඇය ප්රතිකාර ලබනා අතරතුරදීයි. සංගීතය වෙනුවෙන් විවිධාකාර කැපවීම් කළ, විවිධාකාර වාතාවරණයන් හමුවේ සංගීතය ජනතාව වෙනුවෙන් භාවිතා කළ, එක් අන්තයක නොරැදී සංගීතයේ බොහෝ ඉසව් ගවේෂණය කළ අයෙක් විදිහට ඔහු බිරිය ගේ රෝගී තත්ත්වයත් එක්කත් ගැටෙන්නේ පුදුමාකාර ධෛර්යයක් විදහා දක්වමින්. එවන් වාතාවරණයකට මුහුණ දෙන ඕනෑම අයෙක්ව කඩාවැටෙන්නට කාරණා යෙදෙන තැනදීත් බිරියට අපිරිමිත සෙනෙහස පාමින් තමන්ගෙ වෘත්තිමය දිවිය භක්තියෙන් ගෙවනා අන්දම අදහන්නට වටින තරමයි. මුලු ඩොකියුමන්ට්රිය පුරාවටම ඔහුගේ ජීවය, ඔහුගේ සෙනෙහස, ඔහුගේ කුසලතාවය සහ ඔහුගේ මානුෂීය බව පිටාර ගලනා හැටි දකින්නට පුළුවන්. අනිවාර්යයෙන්ම නරඹන්නට වටිනා ජීවන පැතිකඩක් විදිහට ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි.
-ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් - The Cinema People
Back to top
Go to bottom

Popular News