‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නිර්මාණය ඉවර කරලා, ඒකට ලැබුණු ඉහළ ප්රතිචාරත් එක්ක දෙවැනි ටෙලි නිර්මාණය විදිහට මම කරන්න තෝරගත්තේ ගුණදාස ලියනගේ විසින් රචිත දෝණ කමලාවතී කියන පොත. නමුත් ඒකෙ වැඩ පටන් අරගෙන අවසාන මොහොතේ නිෂ්පාදකවරු අවාසනාවන්ත විදිහට වැඩ නතර කළා. ඒ වැඩෙන් මං සෑහෙන්න අපහසුතාවට පත්වුණා.
කාලයක් තිස්සේම ආසාවෙන් හිතේ තියාගෙන හිටිය නිර්මාණයක් කරන්න ගිහින්, නොහිතූ විදිහට බලාපොරොත්තු බිඳවැටුණු කම්පනයත් එක්ක ඉන්න අවස්ථාවේ තමයි පවුල් පසුබිම සම්බන්ධයෙන් නිර්මාණයක් කරන්න ඕන කියලා හිතුණේ. දිමුතුමුතු ඉඳන් දූදරුවෝ ඇතුළුව පවුල සම්බන්ධයෙන් කෙරුණු නිර්මාණ මීට කලින් අපි දැකලා තිබුණා. මගේ අදහසත් අරන් මං ගියේ රසික සුරවීරආරච්චි කියන ප්රවීණ රචකයා සොයාගෙන. අවුරුදු ගාණක් තිස්සේ තිරපිටපතක් විදිහට ලියමින් වෙනස් කරමින් අපි එය අවසානය දක්වා ගෙනාවා. ඒ ප්රතිඵලය තමයි ‘නටත් අයෙක් සුරාමතින්’ කියන්නේ.




