රියැලිටි ඉතිහාසයේ ප්‍රථම තරුව බවට පත්වූ අජිත් බණ්ඩාරව තාමත් බොහෝ දෙනාගේ මතකයේ රැඳී සිටිනවා. ඉන්පසු රියැලිටි තරග සිය ගණනක් අතරින් විවිධ තරු බිහිවන විට අජිත් බණ්ඩාර කියන නම කරලියේ වැඩිපුර අසන්න ලැබුණේ නැහැ.
නමුත් ප්‍රථම රියැලිටි තරුව ලෙස මුළු රටක් හඳුනාගත් අජිත් බණ්ඩාර ගැන අලුත්ම කතාවක් ඇසෙන්න අරගෙන. ඒ තමා අජිත් බණ්ඩාරගේ දියණිය ක්ෂේත්රයට පිවිසීම. මේ දිනවල ටී.වී. දෙරණ නාලිකාවේ විකාශනය වන කොළඹ කට්ටිය ටෙලි නාට්‍යයේ ඇය රංගන ශිල්පිනියක් හැටියට දස්කම් දක්වනවා. තාත්තා ගායකයෙක් වන විට දියණිය රංගන ශිල්පිනියක් වූ කතාව අපි සත්සරණි බණ්ඩාරගෙන් ඇසුවා.
ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ අජිත් බණ්ඩාරගේ දුව නිළියක් වුණේ කොහොමද?
මගේ අප්පච්චි අජිත් බණ්ඩාර ගායකයෙක් නිසා අප්පච්චිගේ දක්ෂකම් දැකලා මමත් පොඩි කාලෙ ඉඳලා සින්දු කියන්න පුළුවන් හැකියාව ගොඩනගා ගත්තා. හැබැයි සින්දු කියනවට අමතරව මට පොඩිකාලෙ ඉඳලා රංගන හැකියාව තිබුණා. අප්පච්චි සිරස සුපර් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්රයට ආවා වගේ මමත් තීරණය කළා රියැලටි තරගයක් හරහා මගේ හැකියාව රටට පෙන්නලා නිළියක් වෙන්න. ඉතින් නළුනිළියො රටට හඳුන්වා දෙන රියැලිටි තරගයක් වන hiru super hero තරගයේ තරගකාරිනියක් වෙලා මම තරග වැදුනා. hiru super hero තරගයෙන් පස්සෙ මට චිත්‍රපට සහ ටෙලි චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණා. රංගන ක්ෂේත්රයේ වැඩ කළාට ගායන හැකියාව මම අමතක කරලා නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ සින්දු කියන නිළියක් වෙන්න.
කලාවට පැමිණීම ගැන අප්පච්චිගේ අදහස මොකක්ද?
මම රඟපානවට, සින්දු කියනවට අප්පච්චි කැමතියි. හැබැයි කලාව මගේ වෘත්තිය කරගන්නවට අප්පච්චි කැමැති නැහැ. වෙන මොනවහරි විෂයක් ඉගෙනගෙන රට යන්න කියලයි අප්පච්චි කියන්නෙ. සමහර විට ක්ෂේත්රය තුළ අප්පච්චිට මුහුණ දෙන්න සිදුවුණු සිදුවීම් ඒකට හේතුව වෙන්න පුළුවන්.
කලාව වෘත්තිය කරගන්නවට අප්පච්චි කැමැති නැත්තෙ ඇයි?
සින්දු කියලයි රඟපාලයි මනුස්සයෙකුට දියුණු වෙන්න අමාරුයි කියලයි අප්පච්චි කියන්නෙ. හැබැයි මම කැමැති ගායන ක්ෂේත්රය සහ රංගන ක්ෂේත්රය මගේ වෘත්තීය කරගෙන මගේම අනන්‍යතාවයක් හදාගන්න. රට අතෑරලා ගිහින් වෙන දෙයක් කරන්න මම කැමැති නැහැ. මම උපරිමයෙන් උත්සාහ කරනවා අප්පච්චිගේ හිතත් හදලා කලාවේ දිගටම රැඳීමට. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
-Aruna -




