lan englan tam

පුවත්

සිනමා ගැටලු කීමට සිනමා අධ්‍යක්ෂ සංසදය ජනපති හමුවෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින සිනමා ගැටලු සහ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳව සාකච්ඡා කෙරෙන හමුවක් සඳහා ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය පසුගිය අඟහරුවාදා (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වී සාකච්ඡා කර ඇත.

එම සංසදය ජනාධිපතිවරයා මුණගැසී කළ සාකච්ඡාවට අදාළ කරුණු සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින් වේ.
 
"ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ගරු ජනාධිපතිවරයා මුණගැසේ.
 
පසුගිය කාලය තුළ පැවති විවිධ අභියෝග හමුවේ කිසියම් ලෙසකින් නැවතත් හිස ඔසවන ශ්‍රී ලාංකේය දේශීය සිනමා කර්මාන්තය වර්තමානයේදී මුහුණදෙන ගැටළු සඳහා ඉක්මන් විසඳුම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාව මේ මස 20 වෙනි අඟහරුවාදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මුණගැසිණ.
 
සියයට 18ක් වන සේ සිනමා කර්මාන්තයට අලු‍තෙන් පනවන ලද එකතු කළ අගය මත බදු මුදල හේතුවෙන් සිනමාශාලාවල ප්‍රවේශ පත්‍ර මිළ ඉහළ යාම නිසා චිත්‍රපට නැරඹීමට සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම අඩුවීමක් වාර්තා වී තිබීම, සිනමා ප්‍රවේශ පත්‍රයේ මිලෙන් අයකරගනු ලබන සියයට 7.5ක් වූ විනෝද බද්ද ඉවත් කර ගැනීම, සිනමා ශාලාවේ විදුලි බිල කර්මාන්ත ගනයේ ලා සැලකීම මගින් එය අඩුකරගැනීමේ වාසිය මත ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත දමා ගැනීම, කිහිපවිටක්ම සංශෝධනය වී ඇති චිත්‍රපට නියාමන මණ්ඩල කෙටුම්පත බලගන්වමින්, නිදහස් චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරගැනීම, සහ සිනමාව මෙරට තුළ ජාතික කර්මාන්තයක් සේ ස්ථාපිතකොට පිළිගැනීම යන කරුණු එම සාකච්ඡාවට භාජනය විය.
 
ජනාධිපතිතුමන් සමග රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න යන මහත්වරුන් සහභාගී වූ මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නියෝජනය කරමින් සංසදයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතාගේ මූලිකත්වයෙන් සංසදයේ ලේකම් ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, උප සභාපති සුරංග ද අල්විස්, භාණ්ඩාගාරික සුදේශ් වසන්ත පීරිස්, සහ ප්‍රධාන සංවිධායක සුනෙත් මාලිංග ලොකුහේවා යන චිත්‍රපට අධ්‍යක්ෂවරු සවිස්තරාත්මක ලෙස කරුණු දැක්වීය.
 
රැස්වීම අවසානයේදී ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් තමා වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට දන්වනු ලැබීය.
 
රජයට කිසිදු ලෙසකින් බරක් නොවන ස්වාධීන ආයෝජකයන් මත රඳා පවතින කර්මාන්තයක් වන සිනමාව, ශ්‍රී ලංකාව තුළ ස්ථාවරභාවයකට පත්කොට ගෙන 15000කට වැඩි යැපෙන්නන් සංඛ්‍යාවකගේ ජීවිත යහපත්ව පවත්වාගනිමින් තිරසර වූ ජාතික කර්මාන්තයක් වශයෙන් ස්ථාපිත කරගැනීමට අවශ්‍ය වන රජයේ අවධානය දේශීය සිනමාව කෙරේ ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය."
 
Back to top
Go to bottom

Popular News