ඇය දූ දරුවෝ, නෑදෑයෝ, සිටුවරයෝ, සත්පුර වැසියෝ, ඉසිවර අසපුව, ඉන්ගම්මාරුව, මුතු කිරිල්ලී ආදී ටෙලි නාට්‍ය රැසකට සහ මල් දෙණියේ සිමියොන්, සුරබිදෙන, අරගලය, මී හරකා වැනි සිනමාපට රැසකට තාත්වික රංගනයෙන් දායක වූවත්, ඇයව අදටත් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳී ඇත්තේ අසල්වැසියෝහි “සුරංගනී”ලෙසය.
ඒ තරමට ඇය සුරංගනීට ආවේශ වූවාය. 1990 දශකයේ මුල් භාගයේ දී පුංචි තිරයේ විකාශනය වූ අසල්වැසියෝ ටෙලිනාට්‍යය එකල ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ජනප්‍රිය නාට්‍යයකි. ඇය එහි සුරංගනී නම් විවාහ වන වයස ඉක්මවා ගිය යම් මානසික අසමතුලිතතාවයකින් ද පෙළෙන තරුණියකගේ චරිතය අපූරුවට නිරූපණය කළාය. දිගු කලක් පැවති නිහඬතාවය බිඳමින් නැවතත් ඇය පුංචි තිරයට ප්රවිශ්ට වී සිටියි.ඇය ප්‍රේක්ෂක ආදරය උපරිමව දිනා ගත්, ප්‍රතිභා පූරණ ප්‍රවීණ රංගන ශිල්පිණි ප්‍රියා රණසිංහයි.
දිගු නිහඬියාවකින් පසුව නේද ඔබ යළිත් ක්ෂේත්රයට පැමිණ තිබෙන්නේ?
ඔව්.ඒ ගැන ස්තූති කරන්න ඕනේ දිලුක ප්‍රසාද් ගුණතිලට.මොකද?
කාලයක් තිස්සේ හුඟක් අයට අමතක වෙලා තිබුණු මාව යළිත් ප්‍රේක්ෂකයන් අතරට ගෙනාවේ ඔහුයි.
එක කාලයක් ඔබ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්.ඇයි පසුගිය කාලේ ක්ෂේත්රයේන් ඉවත් වෙලා හිටියේ?
ඇත්තට ම ඉවත් වෙලා හිටියා නෙමෙයි.මං හිතන්නේ හුඟක් අයට මාව අමතක වුණා. සමහර විට ඒක කාලයත් එක්ක වුණු දෙයක් වෙන්න ඇති.මට කවදාවත් මේ ක්ෂේත්රයෙන් ඉවත් වෙන්න බෑ. මං ඒ තරමට මේ ක්ෂේත්රයට ආදරෙයි.
අසල්වැසියෝ නාට්‍යයේ සුරංගනීට තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා නේද?
අනේ ඔව්.සුරංගනීට ප්‍රේක්ෂකයින් තාම කැමතියි.ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරය කරපු චරිතයක් තමයි සුරංගනී කියලා කියන්නේ.හැබැයි සමහර ප්‍රේක්ෂකයින්ට මේ චරිතය තිබුණු නාට්‍යය නම් පැටලෙනවා. සමහරු අහන්නේ “දූ දරුවෝ”නාට්‍යයේ “සුරංගනී” නේද කියලා.කොහොම වුණත් මේ චරිතෙට මිනිස්සු ගොඩක් ආදරය කළා.සුරංගනී කියලා කියන්නේ මගේ ජීවිතේත් අමතක නොවන චරිතයක්.හරිම කලාතුරකින් තමයි ප්‍රේක්ෂකයින්ට දශක ගණනාවක් මතක තියෙන චරිතයක් නිරමාණයක් තුළින් බිහි වෙන්නේ.ඉතින් ඒ අතින් මං හරි වාසනාවන්තයි. මට ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
-sarasaviya -




