ටී.වී දෙරණ නාලිකාවේ විකාශනය වුණු "රාවණා 2" ටෙලිනාට්‍යයේ සෙන්පති ගීතාගේ සටන්කාමී චරිතය තුළින් රංගනයට පිවිසුණු ඇය මෑත කාලයේ අපේ රටේ ඉන්න ජනප්‍රියම නිළියක් කිව්වොත් හරි. ඒ ටෙලිනාට්‍යයෙන් අනතුරුව ඇස්, ජානු, බයෝ, අළුපාට දේදුනු මෙන්ම රජ ගෙදර වැනි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනාගත් ඇය ඉමා වීරසූරිය. ඇයව මේ දිනවල අපට දකින්න ලැබෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශනය වෙන "වරකත" ටෙලිනාට්‍යයෙන්.
ඔබ වේදිකාවෙත් නමක් තැබූ චරිතයක්?
වේදිකාව කියන්නේ මගේ රංගනයේ පදනම කිව්වොත් හරි. මං රංගනය පිළිබඳව මූලික අධ්‍යාපනය ලබාගත්තේ මගේ පාසලේ සරත් චන්ද්‍රවංශ ගුරුතුමා යටතේ.
ඒ මං උසස් පෙළට පාසල් ගිය පින්නවල ජාතික පාසලේදී. පස්සේ මං උසස් පෙළ විභාගය සමත්වෙලා කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව විශේෂවේදී ගෞරව උපාධියක් ලබාගත්තා. එහිදී රූපණය තමයි මං ප්‍රධාන විෂය විදියට හැදෑරුවේ.
වේදිකාව නිසා මං විවිධ ජයග්‍රහණ, සම්මාන ආදියත් ලබාගන තියෙනවා. චමෝදි දයාවංශ මහතාගේ "මං ඇතුළේ ඝාතකයෙක්" කියන වේදිකා නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් 43 වැනි යෞවන නාට්‍ය සම්මාන උළෙලේ වසරේ හොඳම සහාය නිළිය වෙන්නත් මට අවස්ථාව ලැබුණා. මේ දිනවල අසංක ගුරුසිංහ මහතාගේ "ප්‍රේමයේ නගරය" කියන වේදිකා නාට්‍යයේ වැඩ කරගන යනවා.
රංගන ක්ෂේත්රයට පැමිණීමත් එක්ක ඔබේ ජීවිතේට එකතු වූ සුන්දරම මතකය මොකක්ද?
මගේ පාසල් කාලෙදී මං කැමැති නළු නිළියොත් එක්ක පසුකාලීනව එකට වැඩ කරන්න ලැබීම තමයි සුන්දරම මතකය. ඇත්තටම ඒක හරියට හීනයක් වගේ.
එතකොට රංගන ජීවිතේ අමතක නොවන මතකය ගැන කිව්වොත්?
එක ටෙලිනාට්‍යයක් වෙනුවෙන් මට යතුරුපැදි පදින්න පුරුදුවෙන්න වුණා. අන්න ඒක අමතක වෙන්නේ නෑ. ඒ වගේම රාවණා 2 ටෙලිනාට්‍යයට සටන් ක්‍රම පුරුදු වූ හැටිත් අමතක වෙන්නේ නෑ.
ඉමාගෙන් ආදරය ගැන ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්?
මම ඉතින් කවදත් ආදරණීයව ජීවත්වෙන්න කැමැති කෙනෙක්. මට පවුලෙන්, මගේ හිතවතුන්ගෙන්, යාළුවන්ගෙන් වගේම ප්රේක්ෂකයන්ගෙන් හුඟාක් ආදරේ ලැබෙනවා.
-aruna -




