පට්ට ගිනි දහවලේ, වත්තල, ‘රාම් සිනමා’ එකට ගිහින් ඇස් දෙකයි -කන් දෙකයි තෙමා ගත්තා. ‘ක්ලැරන්ස්’ බැලුවා.
ක්ලැරන්ස්ගේ ජීවිත කතාව නෙවෙයි, එතුළ එන සිද්ධි තෝරාගෙන පෙළගස්වපු කතාවක දවටපු සිනෙමාත්මයක ප්‍රේක්ෂා සුවය ලැබුවා. 80 දශකයේ ගෙවුණු මගේ ළමා සහ භද්‍ර යොවුන්වියේ ඇසුණු ගිතමය සංස්කෘතියක් පිස හමා එන සුළඟකින් ආතුර සතුටක්ද කඳුලක්ද කියන්න බැරි තෙත බින්දුවක් උපැස් යුවලට යටින් සීතලට දැනෙද්දී මෙහෙම ඇහුණා.
“මමයි මගේ ගිටාරයයි
ඔබයි ඔබේ සිතාරයයි ..
අප දෙදෙනා නොකර කතා
ගිටාරයයි - සිතාරයයි දෙඩුවා "
"වචනයෙන් ..
කීමට බැරි මිහිරි වූ
දස දහසක් අදහස්
ඔබෙ සිතාරයේ
මියුරු හඬින්
සවන් තේමා ගොස්
හද පතුලේ රැඳුනා"
අතීත ලාංකේය රත්නජංකරයානු ආධිපත්‍යයික ගුවන්විදුලියේ මොහොතකට වාරණය වූ ක්ලැරන්සියානු සංගීතයේ ආන්තික නොවූ ස්වභාවය සහ අපේක්ෂාව මේ පද එක්ක ආරම්භක සිනමා මොහොතෙම දැනෙන්න ගත්තා.
"සිහිනයෙන්
නොබැඳෙනසුළු මිහිරිවූ
අනන්ත වූ හැඟුමන්
මගෙ ගිටාරයේ
තත් අතරින්
ඔබේ නමින් බිහිවී
පවනේ රැඳුණා"
මම හිතන්නෙ ෆිලම් ඩිරෙක්ටර් කෙනෙක්ගේ වැඩේ තමයි තමන් දන්න සහ නොදන්න ප්‍රස්තුතයක කාරණා අනුභූතික සෞන්දර්යයක් ඇතුළේ පෙළගැස්වීම සහ, තමන්ගෙන් පිටතට සහානුභූුතික කරන එක. බයෝග්‍රපි ජොන්රා එකෙන් යද්දී මේක ගුටිකන වැඩක්. මොකද විවිධ අනුභූතික සත්‍යන් රැසක් දරාගෙන, ඒවා සුජාත වීමක් බලාපොරොත්තු වෙන පන්ඩිතමානි සහ සත්‍යයැයි සිතෙන සාක්ෂි දත්ත වලින් සජ්ජිතව ඉන්න ජනතාභියෝගය. හැබැයි ඔවුන් දරනා මත ද පරම සත්‍ය නොවන ගොඩ නැංවූ මත විය හැකිය යන්න විවාදාපන්නයි. අශෝක හඳගම රාණි තුලින් මුහුණ දුන්න අභියෝගය මෙතැනදී තෙජාට එන්නේ නෑ . ඒ චිත්‍රපටය තුළ අප පත්වන මෝහනය. ඒක එන්නේ ෆිල්ම් එකේ රූපරාමු වලින් පිටත හිටිය ක්ලැරන්ස් ගේ ගීතාවලිය තුළින් ගලා එන එන පිරිපුන් බවින් අප චිත්‍රපටය තුළ දී පත් වන වසඟය බලවත් නිසා. ක්ලැරන්ස්ව නොදන්නා පසුකාලීින පරම්පරාවට පවා චිත්‍රපටය පත්තියම් වෙන්න ඒක හේතුවෙලා තියෙනවා.
අනෙක් අතට මේකේ ‘මිසොන්-සෙන්’(Mise-en-scène) එක ගැන කල්පනා කරද්දී කාලානුරූපව ඒ කාලයම ප්‍රති නිෂ්පාදනය කරනවාට වඩා යම් යම් කාලානුරූපි ලක්ෂණ යොදා ගනිමින් නමුත්, ප්‍රබන්ධාත්මක විචිත්‍ර භාවය පවත්වාගෙන ඇති බව පෙනෙනවා. එසේම සිනමාවේ ජනප්‍රිය සූත්‍රරමය රාමු ගත කිරීම් හි අභාසය ලබා ඇති බවත් පෙනෙනවා. එසේම ක්ලැරන්ස් ගේ සංගීත චාරිකාව හා සසඳා බලන විට වුවත් එහි කාලානුක්‍රමය මත පවතිනවාට වඩා සිනමා ප්‍රබන්ධය තුළ පෙළගස්වන සිද්ධිමය අදාළත්වය වටා රසය තීව්‍ර කිරීමට උත්සුක වී ඇති බවකුයි පෙනෙන්නේ. එහි වරදක් නැහැ.
ක්ලැරන්ස් විජේවර්ධන නම් සංගීතවේදියා හා ගායකයාගේ සම්පූර්ණ කලාපය, නැතිනම් ඔහුගේ සංගීත ආර ගොඩ නැගුනු පසුබිම සහ එහි සමාජීය ලක්ෂණ වන කරුණුමය විස්තීර්ණතාව සහ එය ලාංකේය සංගීතය තුළ කිනම් චාරිකාවක නිමග්න වූයේද යන්න තිරකාලයකට නතු කිරීම බැරෑරුම් ව්‍යායාමයක්. මේ සිනමාපටය එවන් කරුණක් අරභයා නිමවනවාට වඩා ඔහු උත්පාද කළ රසයෙන් පෝෂිතව ගොඩ නැගු සරල කතාවක්. ඒ නිසා මේ ‘ක්ලැරන්ස්’ ම නොවන ‘ක්ලැරන්ස්මය’ රසයක් පෙරා දෙන සිනමාවක්ය යන්නයි, මගේ සිතීම.
ක්ලැරන්ස්ගේ සිනමා සංගීතය (මිල්ටන් පෙරේරාගේ කොමල ලියා, පසුබිමින් ඇසෙන අංශුමාත්‍රයක් පමණක්, අතිශය ජනප්‍රිය ගීතාවලියක් වූ එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘අපේක්ෂා’ කිසිත් ඉපිටුමක් නැත), මිල්ටන් මල්ලවාරච්චි සුසංයෝගයෙන් බිහිවූ නිර්මාණ, 80 දශකයේ ලාංකේය ජනප්‍රිය ගීතයේ හැරවුම වූ රූකාන්ත සබැඳියාව සමග බිහිවූ සුසංයෝගය ආදී අවස්ථා ඔස්සේ විස්තීර්ණ වූ ක්ලැරන්සියානු පොප් සංගීතයේ ගතික චිත්‍රපටය විසින් උකහා ගන්නේ නැහැ.. සංගීත නිර්මාපකයෙකු වශයෙන්, ‘සිකුරුලියා‘ සිනමා පටයේ එක ‘කොමල ලියා සිකුරුලියා‘ ගීතය ගැයීමට ජේ ඒ මිල්ටන් පෙරේරා මිස වෙනත් කෙනෙකු නැති බවත්, ඊට අන් ශිල්පියෙකුගේ නම යෝජනා වන විට “මිල්ටන් නොමැතිව මෙය කරන්නට සිදුවන්නේ නම් එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉවත් වන බවත්” ක්ලැරන්ස් කියපු බව මෙතැනදී අමතක කරන්න බෑ. ක්ලැරන්ස් මෙහෙම කියපු බව බිරිඳ ශීලා ප්‍රකාශ කරපු යූ-ටියුබ් සංවාදයකුත් තියෙනවා. ඒ වගේම ක්ලැරන්ස් , රූකාන්ත සුසංයෝගයෙන් බිහිවුණු ‘රූ තාරකාවෝ’ වැනි ගියක, ඒ ගී මාවතෙහි හමුවන අවසන් සමයේ තානයන් අමතක කරන්න බැහැ. මේ ඔක්කොම තේජා අපට පෙන්වන්න ඕන කියන දිව්‍යමය නියමයකුත් නැහැ. කොහොම වුණත් ‘සුසීමාවේ’ එන ‘දෑස පියාගත් කල’ වැනි ගීතයකින් චිත්‍රපටය ඉවර වුණු අයුර පෞද්ගලිකව මට පෙන්වන්නේ යම් ගැප් එකක්. ඒ වගේම ෆිල්ම් එක ඇතුළේ ‘මූන්ස්ටෝන්ස්’, සහ ‘සුපර්ගෝල්ඩන් චයිම්ස්’ මැද හැලී යන ‘ගෝල්ඩන් චයිම්ස්’ කාලයත් ක්ලැරන්සියානු ශුද්ධවූ ප්‍රේක්ෂාවකින් නැරඹුවොත් මතුවෙන ගැටලුවක්. ඒ ගැන තර්ක කරන්න ගියොත් අපිට අහිමි වන දෙය තමයි මේ චිත්‍රපටයේ රසය. ඒ නිසා ප්‍රේක්ෂකයෙක් ලෙස මම ඒ කරුණුමය තත්ත්වයන් ගැන වෙහෙසෙ වෙන්නේ නෑ. සිනෙමාත්මීය බැවින් සෑහෙනවා මිස.
ඒ වුණාට චිත්‍රපටය තුළින්ම එන ඉඟියක් ඒ තුළම නොපෙනීම ගැන යම් කුකුසක් දැනුණු බවත් කියන්න හිතෙනවා. ඒ තමයි ‘චෙකොව්වියානු න්‍යාය’ ලෙස හඳුන්වන “නිර්මාණයකදී බිත්තියක රැඳවූ තුවක්කුවක්කුවක් දැක්වූයේ නම් කිසියම් තැනකදී එය පත්තු විය යුතුයි” යන කාරණාව. ඒක එසේ නොකොට වෙනත් නව්‍යතාවක් උපද්දවිය හැකියි. ඒකට තර්කයක් නෑ. ඒත් මේක කියන්න හිතෙනවා.
‘සුපර් ගොල්ඩන්චයිම්ස්’ කණ්ඩායමේ සාමාජිකයෙකු සම්බන්ධ දර්ශනයකදී චිත්‍රපටයේ කියැවෙනවා, එම ශිල්පියා වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කිරීමට ක්ලැරන්ස් කතරගම යෑමට බලාපොරොත්තුවෙන් පසුවන බව. ඒ එක්ක එක එල්ලේ ‘කඳ සුරිඳුනි ඔබෙ-ඔද තෙද දැක හද’ ගීතය ක්ලැරන්සියානු ශ්‍රාවකයෙකුගේ මතකයට නැංවෙනු වැළැක්විය නොහැකියි. හේතුවාදී, නිරාගමික රැඩිකල් වින්දකයෙකුට පවා ඒවා එසේ තබාගෙනම සංස්කෘතිකමය කරුණක් ලෙස මෙම ගීතය නොසලකා හරින්නට නොහැකිවන හේතුව නම් ‘ඒ. ඊ. මනෝහරන්’ නම් අසහාය ලාංකේය දමිල ගායන ශිල්පියා ලවා ‘මුරුගා වඩිවේලා’ නම් එහි දෙමල අනුවාදය එළි දැක්වීමට ක්ලැරන්ස් කටයුතු කිරීම. මෙතැනදී කිව යුතු තව කාරණයක් තමයි ක්ලැරන්ස් හොඳ ත්‍රෛයිභාෂිකයෙකු බව. සිංහල සේම දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරුවන්නට ඔහු සමත්. එහි භාවිතාවේ සාක්ෂියක් තමයි මෙම ගීතය. නමුත් පූර්ව ඉඟියක් තිබුණත් සිනෙමාපටයට එය එන්නේ නැහැ. එහෙම වෙන්න ඇත්තේ ඇයි. ෆිල්ම් එකේ අවසන් සංස්කරණයේ වැඩ ඉවර වෙන්න කලින්ද තේජා මිය ගියේ? මම ඇතුළෙ ඒ ප්‍රශ්නය නැගුණා.
සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් ඒක ක්ලැරන්ස් සිනමාපටය විඳින්න බාධාවක් නෙවේ.
ඉතින් ආයෙත් කියන්න ඕන. ක්ලැරන්ස් විජේවර්ධන නම් චරිතය සිනමාපටයට වඩා විශාලයි. ඒ ගැඹුර මේ සිනමා පටයට විෂයය වෙන්නෙ නෑ. ඒත් මෙහෙම චිත්‍රපටි හැදෙන්න ඕන.
සටහන - විකුම් ජිතේන්ද්‍ර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
( මෙම ලිපිය 2025.07.20 අනිද්දා පුවත්පතේ පළවූ ලිපියකි)











