සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, එළැඹෙන අගෝස්තු 2 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත “ City of Dreams ”විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ඉඩ ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.
නමුත් මෙය නිලවශයෙන් තහවුරු වී නොමැති අතර සංවිධායකයින් සහ ආසන්න ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශාරුක් ඛාන් පැමිණෙනු ඇති බවයි.
මෙම අනාවරණයට වඩාත් ආධාර වන පරිදි “ City of Dreams ” සහ “Cinnamon Life” නිල සමාජජාලා ගිණුම්වල දැන් සිටම “විශේෂ කෙනෙකු පැමිණෙනවා” යන තේමාවෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර “ඇවිත් ඉන්නේ කවුද කියා හදුනාගන්න” යනුවෙන් එහි සඳහන් වෙනවා.
එමෙන්ම මේ වන විට මෙම සමාජ ජාලා ගිණුම් හරහා අදාල විවෘතකිරීම පිලිබඳව දැනුවත් කෙරෙන පෝස්ටරයක් ද එළි දක්වා ඇති අතර එහි ද ශාරුක් ඛාන් ගේ රුවට සමාන රුවක් දැකිය හැකියි.
අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක් වැයකරමින් මෙරට ඉදිකරන ලද “City of Dreams” ව්‍යාපෘතියට ලෝක මට්ටමේ කැසිනෝවක්, සුඛෝපභෝගි හෝටලය සහ වෙළඳ මධ්‍යස්ථානයක් අයත් වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයෙන් මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය ලෙසයි සැලකෙන්නේ.
මෙහි Cinnamon Life හෝටලය දැනටමත් විවෘත කර ඇති අතර, කැසිනෝ ශාලාව සහ Nüwa හෝටලය ඇතුළු අවසාන අදියර අගෝස්තු 2 වන දින විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව මෙම විවෘත කිරීමේ උත්සවයට ජත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයන්, ආයෝජකයන්, මාධ්‍යවේදීන් වැනි බොහෝ පිරිසක් සහභාගී වීමට නියමිත බවයි සදහන් වන්නේ.













