lan englan tam

නදීකගේ ලතා ගැන කතා - ධනංජය කරුණාරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති සහ බහුශ්‍රැත බව පෙන්වන්න හදන අපබ්‍රංස කතාවක් ලෙසට සමහරුන්ගේ විවේචනයට ලක් වෙමින් තියෙනවා. මේ ඒ ගැන කෙටි විමසීමක්.

මම මෙය විමසීමට ලක් කිරීමට තීරණය කළේ මෙය හුදෙක් මළ ගෙදර කතාවකට පමණක් නොව සමහර අවස්ථාවල කලා නිර්මාණ ඇතුළු තවත් ප්‍රකාශන වලට අදාලව ද සම්ප්‍රදාය, සම්මතය, ගැලපීම සහ නොගැලපීම ආදිය සම්බන්ධයෙන්ද අඩු වැඩි වශයෙන් නිතර මතු වෙන කරුණු රැසක් මේ තුළ සැඟව තියෙන නිසායි.

මළ ගෙදරක් වැනි විශේෂ කම්පිත අවස්ථාවක භාෂාවේ සිට ඉදිරිපත් කිරීම දක්වා ගෞරවය දැක්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් සම්ප්‍රදායන් රැසක් තියෙන බව අපි දන්නවා. ඒ සියල්ලම අප විසින් එනම් යම් ප්‍රජාවක් විසින් සාමූහිකව ඇතිකර ගත් එකඟතා මත පදනම් වෙලා තියෙන්නේ. ඊට අපි සරලව සම්ප්‍රදාය හෝ සම්මතය කියලා කියනවා. එක් ප්‍රජාවක් සුදු පාට ඇඳුම් අඳින විට අනිත් ප්‍රජාව එහිම අනිත් පැත්ත වූ කළු පාට ඇඳුම් අඳිනවා. සැරසිලි ඇතුළු මල ගෙදර ඉදිරිපත් කිරීම් සියල්ල එහෙමයි.

සාමාන්‍යයෙන් ලෝකයේ සියලුම පංති, සංස්කෘතීන් සහ සමාජයන් වල මළ ගෙදරක ගෞරව දැක්වීම සම්බන්ධයෙන් ඇති එක පොදු ලක්ෂණයක් පෙනෙන්න තියෙනවා. ඒ තමයි හැසිරීම, ඇඳුම් පැළඳුම් සහ භාෂාවෙන් ඊට තමන්ට හැකි පමණින් බැරෑරුම් භාවයක් (seriousness) ලබාදීම. උදාහරණෙකට අතිශයින්ම සාමාන්‍ය ශ්‍රී ලාංකික මළගෙදරක් ගමු: මිනිය තබා ඇත්තේ සාමාන්‍ය ඇඳක නෙමෙයි. විශේෂ වටිනාකමක් දුන්න පෙට්ටියක එම සංස්කෘතියට අනුව වඩාම සම්භාවනීය සතාගේ දළ දෙකක් යට. සාමාන්‍ය ගමේ ඉන්න ගුරුවරයෙක් හෝ වෙද මහත්මයෙක් වැනි සුවිශේෂ පුද්ගලයෙක් බොහෝ විට සංස්කෘත සහ පාලි ආදී භාෂාවලින් උපුටා ගත් කොටස් වලින් යම් බැරෑරුම් කතාවක්ද පවත්වනවා. හාමුදුරුවරු ඇවිත් පාලි භාෂාවෙන් අභිධර්මය මතක් කරමින් උපේක්ෂාව කියා දෙනවා.( ගැමි බුද්ධාගම තුළ පවා මිනිසුන් එය පිළිගන්නේ තේරුම් ගැනීමට වඩා ශ්‍රද්ධාව හරහායි). මරණය නිවේදනය කිරීම ඇතුළු ඊට අදාළ බොහෝ ප්‍රකාශ ලියා ඇත්තේ සාමාන්‍ය භාෂාවෙන්ද නෙමෙයි සංස්කෘත හෝ ලිඛිත සිංහලෙන්. වයධම්මා සංඛාරා! අනිච්චාවත සංඛාරා! සමහරිවිට මේවායේ තේරුම් බොහෝ දෙනකු නොදනියි. කෙසේ හෝ මෙයින් අදහස් කරන්නේ නැහැ මළගෙදරක කතාවක් වැනි දෙයක් 'නල්ලතම්බි නාට්‍ය භාෂාව' වැනි තව ඕනෑම භාෂාවකින් කෙනෙකුට පවත්වන්න බැරි බවක්. ඇත්ත වශයෙන් එය විවිධ විදිහට සිද්ධ වෙනවා.

ශාස්ත්‍රීය භාෂාව සාමාන්‍ය මිනිස්සුන්ට ගැලපෙන්නෑ කීමද පිළිගන්න අපහසුයි. ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය(Advance Australia Fair) නිර්මාණය කර ඇත්තේ බටහිර ශාස්ත්‍රිය සංගීත ශානරය මතයි. එයින් එක පැත්තකින් සෑම ජනකොටසකටම ශාස්ත්‍රීය සංගීතයට සමීප වෙන්න අවස්ථාවක් ලැබෙනවා.

නදීක ගුරුගේ ලතා වල්පොලගේ ගීත කලාවේ විශේෂත්වය වඩා පුළුල් ඓතිහාසික සන්දර්භයක් තුළ තබා තේරුම් ගන්න උත්සාහ කරනවා. බොහෝ කියවීම් වලදී මගහැරෙන එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද? නදිකගේ ඒ භාෂාව සාමාන්‍ය ශ්‍රී ලාංකික සමාජයේ නිල කටයුතු පවත්වන භාෂාවයි. (සමහරු මෙම භාෂාව ශාස්ත්‍රීය සහ සමාජ විද්‍යා ආදී තවත් විවිධ නම් වලින් හඳුන්වනවා) ලෝකයේ බොහෝ මළ ගෙවල් වල කතා පවත්වන්නේ නිල භාෂාවකින්, විශේෂයෙන් ජාතික තලයේ මළ ගෙවල්වල ප්‍රධාන කතාව. නදීක කතා කරන භාෂාවෙන්ම ශ්‍රී ලංකාවේම සාමාන්‍ය මළගෙවල්වල කතා පවත්වන අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා. නදීකගේ භාෂාව සහ කතා කරන සියල්ල ඉතාම නිරවුල්. අවශ්‍ය නම් මෙය පාසල් ළමයකුට පෙන්වා නොතේරෙන තැන් අහන්න, සමහරවිට නොතේරෙන වචන කීපයක් තියෙයි. නමුත් ඊට වඩා පිරිසකට වයධම්මා සංඛාරා කියන්නේ කුමක්දැයි තේරෙයිද? මීට අමතරව ලතාම ගයා ඇති සමහර ගීත වල පද රචනා සාමාන්‍ය රසිකයින්ට පෙන්වා ඒවායේ තේරුම් අහන්න, කී දෙනෙකුට ඒවායේ තේරුම් හරියටම කියන්න පුළුවන් වෙයිද? එම ගීතවල වචන සරල වූවාට එපමණටම අර්ථ සරල නෑ. බොහෝ ගීත වල යටි පෙළ සහ සංකේත අර්ථ මිනිසුන් තේරුම් ගෙන නෙමෙයි රසවිඳින්නෙ.

හීන හතක් මැද විමනක් සැදුණයි

සීත සඳුන් සුව ඒ තුළ මැවුණයි.

.......

කෙසේ හෝ කෙනෙකුට නදීකගේ කතාව තේරෙන්නේ නැති තරමට භාෂාව පිළිබඳව ගැටළුවක් ඇත්නම් එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී සැලකිල්ලට ගත යුතු සාධකයක් බවට මෙම අවස්ථාවේදී අතුරු යෝජනාවක් මතු කළ යුතුයි.

ඒ අනුව නදීක ගුරුගේගේ කතාව මෙම සන්ධර්භය තුළ තබා බලන විට ඇතිවෙන එකම විශේෂත්වය නම් භාෂාව නොවේ ඊට වඩා අන්තර්ගතය සාම්ප්‍රදායික නොවීම පමණයි. එනම් සාමාන්‍යයෙන් මියගිය පුද්ගලයාගේ සේවය සහ කාර්යභාරය කතා කරන්නේ ඔහොම නෙමෙයි. බොහෝවිට ඒවා කතා කරන්නේ කථිකයාගේ පුද්ගලික අත්දැකීම් විදිහට හැඟුම්බර කතා විදිහටයි. එහෙම නැත්නම් ඔය භාෂාවෙන්ම කතා කළද එතරම් විෂය මූලික දත්ත සාධක සහ තර්ක මත නෙමෙයි.

ඉහත මම පෙන්වූ තවත් සාධක සහ කරුණු අනුව නදීකගේ කතාව ශ්‍රී ලංකාවේ සම්මත මළ ගෙදරකට යම් නුහුරක් මිසක් නොගැලපීමක් ඇතිකර නැහැ. පාලි, සංස්කෘත සහ නිල භාෂා පාවිච්චිය ශ්‍රී ලාංකික මළ ගෙවල් වල අතිශය සාමාන්‍ය වන අතර ඒවා නිතර කතා කරන සම්මත මාතෘකා වලට සීමා වෙලා තියෙන නිසා පිළිගැනීමට ලක්වෙලා තියෙනවා.

සංස්කෘතියක් පුළුල් වෙන්නේ එකම භාෂාවේ පවා විවිධ ප්‍රභේදයන් භාවිතයට එන විටයි. මෙයාකාරයෙන් ඉදිරියේදී නිල භාෂාවකින් විෂයානුගතව අදාල යමක් කතා කිරීමද මළ ගෙවල්වලට එකතු වීමත් සමඟම එය සම්මතයක් වී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති. එවිට අපි අපේ අවමංගල්‍යය උත්සව සංස්කෘතිය තවත් පුළුල් වුණා යැයි කියමු.

 

468557772 10161590416454279 5650979278359810571 n

සටහන - ධනංජය කරුණාරත්න (Dhananjaya Karunarathna)

(ප්‍රවීණ නාට්‍යවේදී)

 

 

 

මෙම සටහන 'Dhananjaya Karunarathna' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

kemadasa

shungara

Back to top
Go to bottom