lan englan tam

පුවත්

යුක්තියේ රූපය සහ කලාවේ හඬ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලාව මිනිස් චින්තනයේ ගැඹුර, හැඟීම්, සමාජ අත්දැකීම සහ විවිධ ප්‍රතිචාර ප්‍රකාශයට පත් කරනු ලබන මාධ්‍යයි. එමෙන්ම, නීතිය යනු යුක්තිය ආරක්ෂා කරන, විනය ක්‍රියාත්මක කරන සහ අයිතිවාසිකම් සහ වගකීම් නිර්වචනය කරන ව්‍යුහගත රාමුවයි. අපට නීතිය හමුවන්නේ අධිකරණ ශාලා තුළ හෝ නීති පොත්වල පිටු අතරය. එහෙත්, කලා ක්ෂේත්‍රය සංකේතාත්මකව හැඟීම්, අර්ථකථන, මිනිස් අභ්‍යන්තරයන් සහ සමාජයේ හෙළිනොවන යථාර්ථයන් සහෘද හදවත් තුළට රැගෙන යන විශ්වීය භාෂාවයි.

මෙම විෂයන් ද්විත්ත්වය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර ලෙස අර්ථ නිරූපණය වූවද, ඉතාමත් ගැඹුරු සහ අර්ථවත් අන්තර් සමබන්ධතාවක් පවතින බව පිළිබිඹු කිරීමෙහිලා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ, ‘තුලාව’ සංසදය මඟින් “නීතිය හා යුක්තිය කලාත්මක ඇසින් සිත්තම් කරනුවස් නීතියේ පිකාසෝවියානු ආමන්ත්‍රණය” තේමාව යටතේ සංවිධානය කර තිබූ, ‘ARTLO 2025’ සිතුවම් හා මූර්ති ප්‍රදර්ශනය මාර්තු මස 24 වන දින උදෑසන 9.00 සිට කොළඹ විශ්වවිද්‍යාලයීය නීතී පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරධිතයින් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ රජීව් අමරසූරිය, ආචාර්ය ජගත් ගුණවර්ධන, පීඨාධිපති මහාචාර්ය නිශාන්ත සම්පත් පුංචිහේවා යන මහත්වරුන් සහභාගී වූහ. මෙම ප්‍රදර්ශනය නීතියේ සහ කලාවේ සම්බන්ධය ඉතා සංවේදීව සහ සංකේතාත්මකව දෘශ්‍යමාන කළ අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මෙම චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනය හුදෙක්ම චිත්‍ර හා මූර්ති එකතුවක් පමණක් නොව, නීතිය, යුක්තිය, සමාජ අසාධාරණය, මානව අයිතිවාසිකම්, සමාජ අසමානතාව, සහ නිදහස් ප්‍රකාශනය වැනි මාතෘකා පිළිබඳ කතිකාවක් ඇති කළ සංවාදාත්මක අවකාශයක් ලෙස සුවිශේෂී විය.

මෙම ‘ARTLO 2025’ සිතුවම් සහ මූර්ති ප්‍රදර්ශනය තුළ නීතිය පිළිබඳ සාම්ප්‍රදායික අධ්‍යයනයෙන් ඔබ්බට ගොස්, එය සමාජය තුළ ක්‍රියා කරන ආකාරය නැවත සිතා බැලීමට සහභාගී වූ සැමට අවකාශය සලසා දුන් අගනා අවස්ථාවකි. නීතිය යනු සාමාන්‍යයෙන් පනත්, ව්‍යවස්ථා, ප්‍රඤ්ඥප්ති, අධිකරණ තීන්දු සහ නීතිමය ක්‍රියාපටිපාටි තුළින් ඉදිරිපත් වුවද, මෙම ප්‍රදර්ශනය තුළ එය ජීවමාන සමාජ අත්දැකීමක් ලෙස ඉදිරිපත් කිරීමට සමත් සිතුවම් දක්නට ලැබිණි. නීති සිසුන් සහ නීතිඥවරුන් මෙම ප්‍රදර්ශනයේදී භාවිතා කර තිබූ එම කලාත්මක භාෂාව හරහා පැහැදිලි වූයේ නීතිය යනු පාලන යාන්ත්‍රණයක් පමණක් නොව, අයිතිවාසිකම්, යුතුකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධය ගොඩනඟන සමාජයේ අර්ථකථනයක් වන බවයි.

 

 

 

silumina

kemadasa

shungara

Back to top
Go to bottom