කොළඹ ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ වටිනා පෞරාණික සිතුවම් 42ක් අතුරුදන් වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.
2015 වසරේදී භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදුකර ඇති අතර, අදාළ සිතුවම් අතුරුදන්වීම පිළිබඳ තොරතුරු ප්‍රථම වරට අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණයෙන් අනතුරුව බව අමාත්‍යවරයා පැවසීය.
ජාතික කලාභවනේ නිල තොග පොතට අනුව එහි තිබිය යුතු මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවද, මේ වන විට පවතින්නේ සිතුවම් 239ක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මෙරට කලා උරුමයට අයත් වටිනා සිතුවම් 42කට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී අපරාධ පරීක්ෂණයක් මගින් නිශ්චිතව අනාවරණය කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගිම්හාන් ද සිල්වා









