“මාව නළුවෙක් කළේ මගේ අම්මා. අම්මාගේ කීම තාත්තා සලකා බැලුවා. මම ඒ වනවිටත් ‘අපරාධය සහ දඬුවම‘ චිත්‍රපටයේ ප්‍රවීණ සිනමා රංගවේදී ශ්‍රියාණි අමරසේනයන්ගේ මල්ලි හැටියට පාසල් යන කාලයේදීම රඟපාලා තිබුණා.
‘ජනක සහ මංජු‘ චිත්‍රපටයේ ජනකගේ චරිතය අධ්යක්ෂවරයාගේ මඟපෙන්වීම යටතේ හොඳින් රඟපෑවා. තාත්තා චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වූ නිසා අපේ රටේ සිනමා නිර්මාණ බොහෝමයක් ඒ වනවිටත් නරඹලා තිබුණා. නළු නිළියෝ විශාල පිරිසක් දැන හඳුනාගෙන කතා බහ කරලා තිබුණා. වෙනත් රටවල චිත්‍රපට නිර්මාණත් මම බලලා තිබුණා.
ඒ අත්දැකීම් සියල්ලත් මගේ රඟපෑමට එකතු වෙන්න ඇති. නමුත් චිත්‍රපටයේ රඟපාන්න පටන් ගත්තාට පස්සේ ප්‍රේම ජවනිකා රඟන්න මට චකිතයක් දැනුණා. මොකද මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා මගේ තාත්තා නිසා. තාත්තා ඉදිරියේ ප්‍රේම ජවනිකා රඟන්න බෑ වගේ හැඟීමක් දැනුණා. තාත්තා ඉතාම බුද්ධිමත්ව ඒ සිතුවිලි මගේ සිතින් ඉවත් කරලා මට රඟපාන්න වාතාවරණය සකසා දුන්නා. චිත්‍රපටය තිරගත වුණා.
මට පාරේ බැහැලා යන්න බැරි වුණා. කඩේකට ගියත්, පිට්ටනියකට ගියත්, පන්සලට ගියත්, පාරක ගියත් මාව දැක්ක ගමන් හරියට හඳුනන කෙනෙක් දැක්කා වගේ බොහෝ අය මාත් එක්ක සිනාවෙන්න, කතා කරන්න පටන් ගත්තා. එක පැත්තකින් ඒක මගේ නිදහසට බාධාවක් වගේ මට දැනුණේ. තාත්තා අධ්‍යක්ෂණය කළ ‘ජනක සහ මංජු‘, ‘රේල් පාර‘, ‘සසර‘, සහ ‘බංගලි වළලු‘ චිත්‍රපටවලත් මම රඟපෑවා.
ඊට පස්සේ මගේ නිදහස සම්පූර්ණයෙන් ම නැතිවෙලා කියලා මට දැනුණ. ඒ නිසා මම චිත්‍රපටවල රඟපෑම අත්හැරලා දැම්මා. වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවලටත් රඟපාන්න එන්න කියලා මට ආරාධනා ගොඩාක් ලැබුණා. සමහරු මං බැහැ කිව්වාම තාත්තාටත් කතා කරලා තිබුණා. ඒත් මම රඟපාන්න ගියේ නැහැ. ඒ කාලේ මම මගේ පෙම්වතිය අමිතා උදේනි හඳුනාගෙන සිටි නිසා මේ අසීමිත ජනප්‍රියත්වය අපි දෙන්නාගේ ප්‍රේමයටත් බරපතල ලෙස බාධා කරන්න පටන් ගත්තා. පාසල් යන කාලයේදීම අපි දැන හඳුනාගෙන අන්‍යෝන්‍ය බැඳීමකින් සිටියා. පසුව අපි දෙන්නා විවාහ වුණා. අදටත් අපි දෙන්නා බොහොම සතුටින්, සමගියෙන්, බැඳීමෙන් ඉන්නවා









