තාරුණ්‍යයට වටිනා ආදර්ශයක් සපයමින් විකාශය වුණු වර්ෂා – දහම් ආදර කතාව රැගත් ‘සැලෙනා නුවන්’ ටෙලි නිර්මාණය ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගැනීමට සමත්විය. ගසක අරටුව ගස ශක්තිමත් වීමට හේතු වන්නා සේම නිර්මාණයක සාර්ථකත්වයට හේතුවන්නේ එහි තිරපිටපතයි. සැලෙනා නුවන් නිදුක් මධුෂිකගේ තිර රචනයකි. එය සාර්ථකව නිමවීමත් සමඟින් ඔහුගේම තිර රචනයෙන් නිමවුණු ‘හුස්මක් ළඟින්’ ටෙලි නිර්මාණයේ විකාශය ආරම්භ විය. ‘දෙව්මි – අවන්ත‘ ආදර කතාවට ඇලුම් කළ බොහෝ දෙනා ‘යුගානි – මේඝ‘ ආදර කතාව ද ආදරයෙන් වැලඳගෙන ඇත. නයනතාරා වික්‍රමාරච්චි සමඟින් කෙෂාන් ශෂීන්ද්‍ර චරිත මවන ‘යුගානි – මේඝ‘ ආදර කතාව ‘හුස්මක් ළඟින්‘ සිට ඔබට සමීප කරන්නේ නිදුක් මධුෂිකය.
ඔහු ලද අත්දැකීමක් පාදක කරගනිමින් ලියවෙන ‘හුස්මක් ළඟින්‘ ආදරයට එහා ගිය කාලීන යථාර්ථයක් ගැබ්ව ඇති හෙයින් ප්‍රේක්ෂකයන්ට එය සමීප අත්දැකීමක් වනු ඇතැයි කී නිදුක් ‘හුස්මක් ළඟින්’ ගැන පැවසුවේ මෙලෙසිනි
“සැලෙනා නුවන් ඉවරවෙනවත් එක්කම ඒ වෙලාවට විකාශය කරන්න හොඳ ටෙලි නාට්‍යයක් ලියල දෙන්න කියලා දෙරණ නාළිකාවෙන්ම මට ආරාධනා කළා. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ඉල්ලීම් එක්ක ඔවුන්ටත් ඕන කරල තිබුණේ දෙවනි ඉනිමේ දෙව්මි- අවන්ත ආදර කතාව නැවත සිහිපත් කරවන්න. ඒ නිසා ප්‍රධාන භූමිකා සඳහා නයනතාරා වික්‍රමාරච්චි සහ කෙෂාන් ශෂීන්ද්‍රව ඔවුන්ම යෝජනා කළා. මං මේ කතාව ලියන්න පාදක කරගත්තේ මං ලබපු අත්දැකීමකුත් එක්ක. තමන්ගේ පාඩුවේ රාජකාරිය හරියටම කරගෙන නිවැරදිව ජිවිතය ගෙන යන කෙනෙක් යම්කිසි අවස්ථාවක සමාජය ඉදිරියේ වැරැදිකාරයා වුණොත් ඔහුට මොනවගේ වේදනාවක් දැනෙනවා ඇතිද කියන සංකල්පය විතරයි මට මුලින්ම ආවේ. ඊට පස්සේ මං ඒක ස්ටෝරි එකක් විදිහට ඩිවලොප් කරගත්තා.
මුලින්ම මගෙ ඔළුවට ආවෙ සුනිල් කියන චරිතය. සුනිල්ගේ චරිතයට සනත් විමලසිරි සුදුසුයි කියන එක මගේ තේරීම් අතරත් තිබුණා. යුගානි සහ මේඝ චරිතවලට නයනතාරා සහ කෙෂාන් නාළිකාවෙන්ම යෝජනා කළා. අනෙක් චරිතත් මගේ යෝජනා වගේම ඒ ආසන්න තෝරාගැනීම් වුණා.“
‘සැලෙනා නුවන්‘ අධ්‍යක්ෂණය කළ ශ්‍රියන්ත ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණයක් ලෙසින් මේ දිනවල විකාශය වන ‘හුස්මක් ළඟින්‘ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගනිමින් සිටින බව නිදුක් පැවසුවේ ද ලැබෙන ප්‍රතිචාරවල උණුසුම විඳගනිමින් සිටින අතරතුරේය.
“‘සැලෙනා නුවන්‘ ටෙලි නිර්මාණයට ආදරය කළ බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් ඒ ටයිම් එකට ඇබ්බැහි වෙලා හිටියේ. ‘සැලෙනා නුවන්‘ ඉවරවෙනවත් එක්කම ඒ ප්‍රේක්ෂකයන් හුස්මක් ළඟින් වැලඳගත්තා. ඒ වගේම දෙවනි ඉනිමේ දෙව්මිට සහ අවන්තට ආදරය කළ අතිවිශාල ප්‍රේක්ෂකාගාරයක් තිබුණා. ඔවුනුත් දැන් ‘හුස්මක් ළඟින්‘ සමඟ බැඳිලා ඉන්නවා. දැනට කොටස් සියයකට නිමවා තිබුණත් ප්‍රේක්ෂක ඉල්ලීම සහ ප්‍රතිචාර මත එය වෙනස් විය හැකියි. කෙෂාන් – නයනතාරා නැවත පුංචි තිරයේ දකින්න ලැබීම ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙන්න විශේෂ හේතුවක් බව පැහැදිලියි.“
හුස්මක් දුරින් සිට නිදුක් ලියූ ටෙලි පිටපත විකාශයට පෙර හුස්මට ළං වූ අයුරු ද අපූරුය.
“කතාව ලියන්න පටන් ගත්ත ගමන් මට මුලින්ම ආවේ ‘හුස්මක් දුරින්‘ කියන නම. අපි සාමාන්‍යයෙන් කියන්නේ හුස්මක් දුරින් ඉන්නවා කියලනේ. ඒ අදහසින් මට මුලින්ම හිතුණේ ‘හුස්මක් දුරින්‘ කියලා දානවා කියලා. නමුත් පිටපත බලලා ලක්සිරි වික්‍රමගේ සර් කිව්වා අපි මේකට ‘හුස්මක් ළඟින්‘ කියලා දාමු කියලා. පස්සේ මටත් හිතුණා ඇත්තටම මේකට උචිත නම ඒක කියලා. මේ කතාවේ තාත්තා කෙනෙකුගේ උත්තරීතර සෙනෙහසක් වගේම තාරුණ්‍යයේ ප්‍රේමයක් ගැනත් කියවෙනවා. ඔවුන් හරිම ළඟින් බැඳිලා ඉන්නවා කියන අදහසත් එක්ක ඒක හොඳට ගැළපෙනවා කියල හිතෙනවා. ආදරය කියන්නේ හුස්මක්වත් දුරින් ඉඳන් ලියන්න බැරි අත්දැකීමක් බව මටත් පැහැදිලි වුණා.“
මාධ්‍යවේදියකු, ටෙලි, ගුවන්විදුලි මෙන්ම චිත්‍රපට තිරපිටපත් රචකයකු ලෙස සියලුම ක්ෂේත්‍රයන්හි නමක් දිනා සිටින නිදුක් මාධ්‍යවේදියකු ලෙස ක්ෂේත්‍රයට පිවිසීම අතීතයද සිහි කළේය.
“මං මේ ගමන පටන් ගත්තේ පුවත්පත් කලාවේදියකු විදිහට. කලාව සම්බන්ධයෙන්, බන්ධනාගාරගත ජීවිත, එච්. අයි. වී වයිරසයට ගොදුරුවුණු ජීවිත සම්බන්ධයෙන් මං පත්තරවලට ලිපි ලිව්වා. ඊට පස්සේ සිරිකත, තරුණයා වැනි පුවත්පත්වලට නවකතා ලියන්න පටන් ගත්තා. මගේ තිර පිටපත් රචනයේ ආරම්භය සිදුවුණේ එහෙමයි. සිරස එෆ්. එම් නාළිකාවෙන් ගුවන්විදුලි නාට්‍ය ලියන්න මට ආරාධනා කළා. ඒ විදිහට සිරස, නෙත්, හිරු නාළිකාවලටත් ගුවන් විදුලි නාට්‍ය ලිව්වා. මම ලියු ගුවන් විදුලි නාට්‍ය සමීක්ෂණ වාර්තාවල අංක එක බවට පත්වුණා. ඒත් එක්කම තමයි දෙරණ නාළිකාවෙන් ටෙලි තිර පිටපත් ලියන්න ආරාධනා කළේ. මුලින්ම ලිව්වේ ‘ධරණී‘ ටෙලි නිර්මාණය. ඊට පස්සෙ ‘සැලෙනා නුවන්‘, ඒත් එක්කම ‘හුස්මක් ළඟින්‘. ඔය අතරේ ‘කම්බිලි‘ කියලා මගේ කුලුඳුල් චිත්‍රපට තිර පිටපතත් ලිව්වා. 2025 තිරගත වුණු චිත්‍රපට අතරින් ‘කම්බිලි‘ හොඳම තිරපිටපත් හතර අතරට ඇතුළත් වුණා. ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්. මේ වෙද්දි එය නවකතාවක් ලෙස නිකුත් වෙලා තියෙනවා.
ඉදිරියේදී නවකතාවක් ලියන්නත් සැලසුම් කරගෙන යනවා. මුලින්ම එය චිත්‍රපට තිර පිටපතක් විදිහට ලියන්න අදහස තිබුණත් පසුව නවකතාවක් බවට පත්කරන්න හිතුණා. ඊට අමතරව මේ දිනවල චිත්‍රපට තිර පිටපතක් ලියාගෙන යනවා. එහි පෙර නිෂ්පාදන කටයුතු කෙරීගෙන යනවා. මේ දිනවල ෂූටින් සඳහා ලොකේෂන් බලමින් ඉන්නවා. ටෙලි නාට්‍ය තිරපිටපත් රැසකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ දිනවල අධ්‍යක්ෂණයටත් ආරාධනා ලැබෙනවා.“
නිර්මාණයක සැඟවුණු චරිතයක් සේ දිස්වන තිර පිටපත් රචකයාගේ භූමිකාවට මනා සාධාරණයක් ඉටු කරන නිදුක් ශ්‍රව්‍ය, දෘශ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍යයේද දස්කම්පාන දක්ෂ නිර්මාණකරුවෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.
rasaduna









