සන්ධ්‍යා රඹුක්කනගේ නම ඇසූ සැණින් ඇය විසින් හඬ දුන් ගුවන්විදුලි නාට්‍ය රැසක්ම අපගේ සිහියට එන්නේ නිරන්තරයෙනි. එසේම මේ වෙසක් සමයේ තොරණ සහ එළිමහන් වේදිකා නාට්‍ය සඳහාත් හඬ සැපයීමටත් වෙසක් කලාපයන්හි නිවේදන කාර්යයන් සිදුකිරීම සඳහාත් ඇය යොමුව සිටින්නීය.
හඬකැවීම්, නිවේදන, රංගන, නර්තන ආදි අංශ රැසකට සිය දායකත්වය ලබාදෙන සන්ධ්‍යා රඹුක්කනගේ, මේ දිනවල නවතම නිර්මාණ කාර්යයන් රැසකට දායක වී සිටින්නීය. ඒ පිළිබඳ ඇය හඬ අවදි කළේ මෙලෙසිනි.
“මේ දවස්වල ගුවන්විදුලි සංස්ථාවේ විකාශය වන විශ්ව සාහිත්‍ය නාට්‍යමාලාවේ චරිතයකට හඬකැවීම් සිදුකරනවා. ‘ආපත්ති කථනය’ ඒ නාට්‍ය මාලාවේ නම. මගේ චරිතය ‘අමේලි’. ඒවගේම ගුවන්විදුලි රඟමඩලටත් එක්වී සිටිනවා. පෞද්ගලික නාළිකාවක ගුවන්විදුලි නාට්‍යයකට දායක වී ඉන්නවා. ඒවගේම මේ වෙසක් කාලය නිසා වෙසක් තොරණ වගේම එළිමහන් වේදිකා නාට්‍යවල හඬ සැපයීමටත් වෙසක් කලාපයන්හි නිවේදන කාර්යයන්ටත් එකතු වී සිටිනවා”
වෙසක් කලාප සඳහා සන්ධ්‍යා රඹුක්කනගේ සිය දායකත්වය ලබා දී ඇත්තේ ළමා අවධියේ සිටය. එකී අතීත මතකය ඇය සිහිපත් කිරීමට ද අමතක නොකළේය.
“මට මතක හැටියට අවුරුදු 15දී වගේ ඉඳන් තමයි වෙසක් නාට්‍ය, තොරණ, වෙසක් කූඩු වගේ නිර්මාණවලට හඬ සැපයීම කළේ. මුලින්ම මගේ ගම වූ කිරුළපන තිබුණු වෙසක් නාට්‍යයකට තමයි හඬ සැපයීම කළේ. ඒ කාලයේ දැන් වගේ ශබ්දාගාර නොතිබුණු නිසා රෑට ගෙවල්වලම රෙකෝඩින් යන්ත්‍ර තියාගෙන වෙසක් තොරණ, වෙසක් නාට්‍ය පටිගතකිරීම් කළේ.
ඊට පසුව ගුවන්විදුලියේ ඉංජිනේරු මහත්මයෙක් වූ ධර්මපාල මහතාගේ ගෙදරත්, කළුබෝවිල පද්මසිරි ශබ්දාගාරය ආදියේත් ඉතා අඩු පහසුකම් යටතේ පටිගත කිරීම් කළා. එකල වෙසක් පටිගතකිරීම්වලට දායක වූ කාන්තා හඬවල් වුණේ කුසුම් පීරිස් මහත්මියයි, මමයි. ඒ කාලයේ නම් හරිම දුෂ්කර විදිහට පටිගතකිරීම් කළේ. මොරටුව, කළුතර, පානදුර වෙසක් තොරණ ජාතක කතා පටිගතකිරීම් ඒ පැතිවල ගෙවල්වලයි කළේ. මුළු රැයක් පුරා නිදි වරාගෙන වෙසක් නිර්මාණවලට දායක වූ ඒ කාලය නම් ජීවිතයේ කිසිදා අමතක වෙන්නෙ නැහැ. ඒවායේ සංවිධාන කටයුතු කළේ හේමසිරි හල්පිටයි.“
-rasanduna -









