කලා නිර්මාණයක් රස විඳීම, විවේචනය කිරීම, විචාරය කිරීම මෙන්ම එය ප්‍රතික්ෂේප කිරීමේද අයිතිය ඇත්තේ කලාව රස විඳින රසිකයාටමය.
අතීතයේ පටන් ගෙවෙන අද දිනය දක්වා මේ සියලු තැන් පසු කර යන කලා නිර්මාණවල ඇතැම් නිර්මාණ මතකයේ රැඳෙන්නේ එම නිර්මාණ රස විඳීමට වඩා ඒවා ගැන ඇති වන ආන්දෝලනාත්මක කතාබහ හේතුවෙනි.
ලාංකික සමාජය තුළ එවැනි කතාබහක් ආසන්න වශයෙන් ඇති කළ නිර්මාණය වන්නේ යොහානිගේ 'කෙල්ල' ගීතයයි.
මේ ගැන ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ විසංවාද මත දෙකක පළ කළ දෙදෙනෙකු වන්නේ මනෝජා වීරසිංහ කලාකාරිනිය සහ සිය ස්වාධීන අදහස් සමාජ ජාල තුළ පළ කරන්නෙකු වන කේ.ඩී. දර්ශනය. යොහානිගේ ගීතය සමගින් අපි දර්ශන සහ මනෝජා අදහස් සඳහා ඉඩ තබමු.
Manoja Weerasinghe, K.D. Darshana
යොහානිගෙ අලුත්ම "කෙල්ල" ගීතය සහ අමරදේවයන් ගැයූ "කුමරියක පා සළඹ" අහල තියෙනවද? Yohani ගෙ ගීතයේ Rap එකේ වීඩියෝ කොටසක් මේ සමග අමුණල තියෙනවා.
යොහානි ලස්සන කෙල්ලෙක්. එයා හුඟාක් ප්‍රසිද්ධයි දැන්. එයා 2023 දෙසැම්බර් 19 වන දින ඇගේ Facebook පිටුවේ දැමූ "කෙල්ල ගීතයේ" අපේ රටේ සංගීතයට නොගැලපෙන වදනක් තියෙනවා. ඒ වචනය අමුවෙන්ම ගීතයේ Rap එකට දාලා "සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය" කියලා.
මගේ ගැටලුව මේකයි. යොහානිව ආදර්ශයට ගන්නා පාසැල් දරුවන් ගොඩාක් ඉන්නවා. මේ පාසැල් ළමයි අලුත් ගීත මුමුණනවා. ඉතින් ඔබත් පාසැල් දරුවෙක් සිටින මවෙක් පියෙක් නම් ඔබ කැමතිද ඔබේ දරුවා මේ ගීතය ගයනවාට?
මේ සෑම දෙයකටම කිසියම් ප්‍රමිතියක් තිබිය යුතුයි කියා ඔබට දැනෙනවාද?
අපි ගමුකො, "කුමරියක පා සළඹ සැලුනා" ගීතය. මේකෙ තියෙනවා වදන් පෙළක් "උකුල ලැම හස මලවි කරලිය, මුවා කළ ඇගෙ දුහුල් සළුතිර" කියලා. මේකෙ මලවි කරලිය කියල අදහස් කරන්නෙ අනංගයාගේ අඩවිය, එනම් "ස්ත්‍රී නිමිත්ත", කාන්තා ප්‍රජනන පද්ධතිය. කොච්චර කලාත්මකයිද. ව්යංගාර්ථයෙන්නෙ අර්ථ දක්වල තියෙන්නෙ. යොහානිත් මෙවැනි අමු අමුවෙ වචන නොදා වෙනත් විනීත සුදුසු වචනයක් යොදා නැවත ගීතය voice කරගත්තා නම් සුදුසුයි නොවේද.
මේ තමයි Dilanjan Seneviratne ගීපද රචනය කළ Yohani ගෙ කෙල්ල ගීතයේ Rap එකේ කොටසක තේරුම.
මගේ ශරීරය සහ ලස්සන උඹලට රම්‍ය මදිද?
උඹේ ශිෂ්ණය දික් වෙන්නෙ නැද්ද?
ඇයි ක්ෂණික මෝචනයද?
(RAP: රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය
සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන)
සමහරු කියනවා;
"සමාජය විසින් ෆේස් බුක් හරහා තමන්ට කළ Body shaming සහ Bulling ඉවසා දරාගෙන සිටි කෙල්ලක් (යොහානි) විසින් තමන්ට ගැසූ ගල් වලින්ම ගෙයක් සාදා ගීතයක් හරහාම එසේ අමන කතා කී උන්ට කණ පැලෙන්න දුන් පිළිතුර "කෙල්ල" නම් ගීතයයි.
මගේ ඊළඟ ප්රශ්නය;
සමාජයේ අපහාස කිරීම්වලට ලක් නොවන අය සිටීද? යොහානිට යම් හිත් වේදනාවක් ඇතිවූවා කියා අපි පිළිගනිමු, නමුත් එයට ඇය බාල පරම්පරාවෙන් පළිගත යුතුයිද? යමෙකු කිසියම් ක්ෂේත්රයක උපරිම ප්‍රසිද්ධියට පත් වූ විට ඔහු කළයුතු වන්නේ සමාජයට කන හරහා පහරක් දී පලිගැනීමද නැතිනම් මව්බිමට ආදර්ශයක් වීමද? යොහානි වැනි සුප්‍රසිද්ධ අයෙකු ගීතයක් ඉදිරිපත් කරනවිට, එම ගීතයෙන් බාල පරම්පරාවට වන බලපෑම ගැන සිතිය යුතුයි. යොහානිගෙ පියා "Prasanna Silva" කීර්තිමත් යුධ හමුදා නිළධාරියෙක්. යොහානි හොඳ පවුලක කෙල්ලෙක්. යොහානිට මොකක්ද වෙලා තියෙන සමාජ අසාධාරණය?. යොහානි දැනුම් තේරුම් නැති කුඩා දැරියකුත් නොවෙයි. ඇය අවුරුදු 30ක සමාජය ගැන හොඳ දැනුමක් තියෙන ආකර්ශනීය කෙල්ලෙක්. එතකොට ඇයි යොහානිට මෙයින් සිංහල සංගීතයට වෙන බලපෑම ගැන හිතන්න බැරි? මෙහෙම කරහම වෙන්නෙ ඉදිරියට එන අයත් තමන්ගේ ගීත hit කරගැනීමට ඕනෑම කුණුහරුපයක් ගීපද ලෙස යොදාගැනීමයි. ඔයවගේ වචන දැම්මම ඒක බලන්නම මිනිස්සු මියුසික් වීඩියෝව බලනවනේ. ඔහොම ගියොත් නම් "උඹේ මෑනියන්ට..." වගේ ගීපද තියෙන සිංදුත් ඉදිරියේදී ඒවි.
තවත් අයෙකු පැවසුවා යොහානිගෙ ගීතයේ මේ ශිෂ්ණය වචනය ගැන නොසිතා, මුලු ගීතයම දෙස බලන්න කියා. කිරි කලයක් දොවා ඊට ගොම බිඳක් මුසු කළහොත් කොහොමද? මෙයින් වන බලපෑම නොපෙනෙන තරමටම සමාජය පිරිහිලාද?
මේවාට සමහර රූපවාහිනී මාධ්‍ය ආයතන විශේෂයෙන්ම වගකියන්න ඕනෙ, බාල දේවල් සමාජගත කිරීම ගැන. අපේ බොහෝ ලාබාල තරුණ තරුණියන්ට දැන් තියෙන්නෙ ඉතාම ලාමක ලාභ හීන. ටික් ටොක් එකේ නටල ඉක්මනින් මුදල් උපයන්න, ඉක්මනින් ජනප්‍රිය වෙන්න වගේ හීන. ටික්ටොක් එකේ සාය උස්ස උස්ස යටඇඳුම පේන්න නටල ප්‍රසිද්ධ වුනු (ඒක් බාර්) ගෑනු ළමයව අපේ රූපවාහිනී ආයතනයකින් අවුරුදු උත්සවේකටත් ගෙන්නුවා. බොහෝ මිනිස්සුන්ගෙ රසවින්දන හැකියාව මොට්ට වෙලා. මුදල් සහ ප්‍රසිද්ධිය පමණයි ඉලක්කය.
සංගීත ක්ෂේත්රයේ බොහෝ ප්‍රවීනයන් මේගැන නිහඬයි. මුදල් හා බලය හමුවේ නිහඬයි. මේවාට කථාකරන්න ගිහින් තමන්ට නින්දා විඳීමට සිඳුවේ යැයි බියයි. ප්‍රසිද්ධ සහ මුදල් තියෙන කෙනෙකුට මේ රටේ වැරදි කරල බේරෙන්න තියෙන අවස්ථා සුලභයි. ඉතින් මම කිව්වොත් අහයිද. මගේ රැකියාව වුනේ Daihatsu සහ BMW කාර් විකිණීම, සංගීතය මගේ විනෝදාංශය. මම වගේ නොවෙයි, ප්රවීනයෝ මේගැන ප්‍රසිද්ධියේ කථාකළ යුතුයි.
මම මේගැන මීට පෙරත්, එනම් 2023 දෙසැම්බර් 30 වෙනිදත් ලිව්වා. මගේ අදහසත් යොහානිට comment කරා බොහොම වැදගත්ව. ප්‍රතිවිරුද්ධ මතයක් මඩ නොගසා තර්ක කළ නොහැකි, ආත්ම ශක්තියක් නැති Fake Profile, Locked Profile, නිවැරදි පිංතූර නැති, විනිවිද නොපෙනෙන - Friends Only ප්‍රොෆයිල් වල අතලොස්සක්, කොටින්ම කිව්වොත් කුලියට කහින දෙතුන්දෙනෙක් මට අපහාස කරා. ඌරොත් එක්ක හැප්පිලා මඩනාගන්න බැරි නිසා ඒ දෙතුන් දෙනාව Block කරල ඔවුන්ගේ අශීලාචාර comments මා විසින් මැකුවා. මගේ මතයට එකඟ නොවුනු නමුත් විනීතව වාද කළ අයගේ comments නම් මම apriciate කරනවා, නිහඬව සිටින අයට වඩා විරුදධ මත තියෙන අයත් වැඩදායකයි.
ඔබ සිතනවානම් සිංහල ගීපද රචනයට ප්‍රමිතියක් තිබිය යුතුයි කියල මට සහයෝගය දක්වන්න
. මෙවැනි වචනවල ගැටළුවක් නොමැතිනම් ඒකත් කියන්න, එවිට මම වෙනස් වෙන්න උත්සාහ කරන්නම්.
සංජී වීරසිංහ Sanji Weerasinha.
----------------------------------------------------------------------------------------------------------------------
තඩි පිරිමින්ගේ පුරුෂ ලිඟු හිරිවට්ටන කෙල්ල
යොහානිගෙ අලුත් සින්දුවේ රැප් කොටසක් නිසා වැඩිහිටි පරම්පරාවෙ පිරිමි සෙට් එකක් ටිපර් වෙලා. මේ පොඩි කෙල්ල 'ශිෂ්ණය දිග මදිද?' කියල කෙලින්ම අහනවා. සමහරු කියනව ඕක කෙලින් කියන්නැතුව "උකුල ළැමහස මලවි කරලිය - මුවා කළ ඇගෙ දුහුල් සළුපිළි" වගේ රමණීය භාෂාවෙන් කියන්න කියල.
මහාචාර්ය ජගත් වීරසිංහ නිතර පාවිච්චි කරන වචනයක් ‘තඩි පිරිමි’ කියන වචනෙ. එය අර්ථ පූර්ණ, භාව පූර්ණ වචනයක්. පීතෘ මූලිකත්වය හා එහි අධම ස්වභාවය පිළිබඳ එක මිටට ගෙන කතා කළ හැකි සංඥාවක් විදියට ‘තඩි පිරිමි’ වචනය හඳුන්වන්න පුලුවන්.
තඩි පිරිමි හොඳට ම බලාගන්න පුළුවන් අශෝක හඳගමගෙ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයෙ. පහළ ගෙදර මහත කළු මිනිහ මතකද? ඌ ඇඟෙනුත් තඩී, දෘෂ්ටිවාදීවත් තඩී.
යොහානිගෙ කෙල්ල ගීතය මගේ සිත ඇද බැඳ ගන්ත, පරම රමණීය ගීතයක් නෙවේ. (හැබැයි ඇගේ හඬ මා ඇද බැඳ ගන්නා එකක්.) ඇය මේක ගයද්දි පිරිස් කලබල වෙන විදිය දැක්කම ඒකෙ දේශපාලනික යමක් තියනව කියල හිතනෙවා. අන්න ඒ නිසා මේ ගැන සටහනක් ලියන්න හිතුණ.
දීර්ග පද මාලාව මැද තියෙන රැප් කොටසේ ඇය මෙහෙම ගයනවා
"රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය"
මෙය සෘජුව කීමක් නිසා අවලස්සනයි කියල හිතෙන එක සාමාන්‍යයි. අපේ සාහිත්‍ය ඉතිහාසය පුරාම සෘජුව කීම වෙනුවට වර්ණනාවිෂයාතික්‍රාන්ත යෙදුම් සහ ව්‍යංග්‍යාර්ථ බහුලව යෙදිල තියෙන්නෙ. සාලිරාජ වස්තුවෙත්, සුළු කළිඟුදාවතෙත් හිසේ සිට දෙපතුල දක්වා සෑම අංගයක් ම නම් කරන්නෙ පුරුෂයෙක් විසින් ස්ත්රියකගෙයි. සාලිරාජ වස්තුවේ සහ සුළු කලිඟුදාවතේ මේ ස්ත්‍රී ශරීර වැනීම් හරි ප්‍රසිද්ධයි. සංදේශ කාව්‍යවල, මහා කාව්‍යවල එන ස්ත්‍රී ශරීර වර්ණනා හරි ප්‍රසිද්ධයි. අනුරාධපාර යුගයේ ලියවුණ පැරණි අසක්දාකවේ පුරුෂයා සිය අතින් ස්ත්‍රී ලිංගය ස්පර්ෂ කරන'යුරු කියන්නෙ මෙහෙමයි.
"රතත දිදි ඉහිල්
වසනතුරෙන් රසන්දම්
කියව කර හලලා
පැහැබර දිගු නුවන්ලා "
මේ වචන පැරණි භාෂාව නිසා අපිට දුරස්. කව්සිළුමිණේ ස්ත්‍රී-පුරුෂ සිපාලිංගනය මෙහෙම ලියවෙනවා.
"රතොට රත ඇදියෙම්
කොපුලැ පතලේ බිඳියෙම්
තනහස මුස කළෙම්
..........................."
නලිනිකා ජාතකයේ නලිනිකා කුමරිය තාපස තරුණයාගේ පුරුෂ ලිංගය සිය ස්ත්‍රී ලිංගයේ අතුල්ලවාගන්නෙ ඉතා උපක්රමශීලි බොරු ගොඩක් කියමිනුයි.
මේක ශෘංගාර සාහිත්‍ය ගැන ලිපියක් නෙවේ. ඒ නිසා මතකෙට එන එන කාරණා කිහිපයක් විතරයි එල්ලුවෙ. නුවර යුගයට එද්දි විශාල ශෘංගාර සාහිත්‍යයක් දකින්න පුළුවං. හැබැයි ඒවා තරමක් ග්‍රාම්‍ය, භාෂාමය වශයෙන් පහළ ස්ථරයක තියලයි කතා කෙරෙන්නෙ. කොළඹ යුගය වෙද්දි මීමන ප්‍රේමතිලක වගේ කවියො අමු රති කාව්‍ය ලිව්ව.
මේ හැම එකක ම වගේ වැඩි පුර ම ස්ත්‍රිය තමයි වර්ණනා කළේ. පිරිමි ශරීරය වර්ණනා වෙලා නැති තරම්. වර්ණනාවිෂයාතික්රාන්තව කිව්වත්, ග්‍රාම්‍ය විදියට කිව්වත්, කොහොම කිව්වත් ස්ත්‍රී ශරීරයනෙ. ස්ත්‍රී නිමිත්තනෙ.
'ඈත කඳුකර හිමව් අරණේ' ගීතයට බොහොමයක් අය කැමතියි. ඒක හරිම සම්භාව්‍ය භාෂාවෙන් ලියවිලා තියෙන්නෙ. ඒ විතරක් ද? පුරුෂ ශරීරය වර්ණනා කෙරෙන දුර්ලභ ගීතයක්.
"රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ..."
යොහානිගෙ ගීතය පුරුෂ වර්ණනයක් නම් නෙවෙයි. කොහොම නමුත් ඇය ගීතය අතරමැදදි සෝපහාසාත්මකව අහනව “සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය” කියල. මෙන්න මේ වචන පහ පිරිසකට දරා ගන්න අපහසු වෙලා තියෙනවා.
මම කැමති මේ හිරිවැට්ටිල්ලටයි.
පුෂ්පානන්ද ඒකනායක මහත්තය කියල තිබුණ යොහානි නියෝජනය කරන පරම්පරාවෙ පියා අහිමි වෙලා කියල. 'ශිෂ්ණය' කියල කෑ ගහන්නෙ පියා අහිමි පරම්පරාවක් කියල. මම ඒ මහත්මයාට ලඝු නොකොට මේ ප්‍රකාශය දේශපාලනිකව ගන්න කැමතියි.
ඇත්තෙන් ම පියා අහිමි පරම්පරාවට පියා අහිමි කළේ කවුද? පියාගේ පැවැත් ම අහෝසි නම් අවුල දරු පරම්පරාවේද? 'ශිෂ්ණය දිග මදිද' කියල කෑ ගහල අහද්දි පියවරු මෙතෙක් වන වන හිටපු ශිෂ්ණය ඇකිළෙනවද?