lan englan tam

පුවත්

සිංහබාහුට වැරදුනාද, සිංහයා පැරදූනාද? ඉතිහාසය යළි කියවීමකි

User Rating: 4 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Inactive
 

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය කලා ඉතිහාසයේ අභිමානයත්

ගෞරවයත් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කලා නිර්මාණ අතර විශිෂ්ටතම රංග කාව්‍යයක් වන සිංහබාහු රංග කාව්‍යයට තේමාව වූ ඓතිහාසික සිංහබාහු කථා සංකල්පනාව, තමාටම ආවේණික නව මානයකින් බලා ඒ ඇසුරෙන් නිර්මාණය කෙරුණු නවතම නිර්මාණයකි “සිංහබාහු” සිනමා නිර්මාණය.

ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය සුසංයෝගය ලාංකේය සිනමාවට සැම විටකම නව රසයක් මෙන්ම නව අරුතක් එක් කළ බව කිව යුතු අතර සෝමරත්න - රේණුකා සුසංයෝගයට, ගාමිණී වික්‍රමසිංහ සම නිෂ්පාදන දායකත්වයෙන් සිංහබාහු සිනමාපටය නිර්මාණය වී ඇත. ජැක්සන් ඇන්තනී ප්‍රවීණ රංග වේදියාගේ රංග ප්‍රතිභාව ඒ අයුරින්ම ලබා ඇති අකිල ධනුද්ධර, සජිත අනුත්තරද එමෙන්ම යශෝධා විමලධර්ම ඇතුළු ප්‍රතිභාපූර්ණ රංග ශිල්පීන්ගෙන්ද සිනමාවට ආධුනික වුවද රංගන හැකියාවෙන් ආධුනික බවක් නොපෙනුණු නවක නළු නිළියන් කිහිප දෙනෙකුගේද දායකත්වයෙන් නිර්මාණය කර ඇති සිංහබාහු සිනමා නිර්මාණය සාම්ප්‍රදායික සිංහබාහු වෘත්තාන්තය පිළිබඳ වෙනස් ම කෝණයකින් බැලූ නවතම කියවීමක් ලෙස සඳහන් කළ හැකිය.
 
අධ්‍යක්‍ෂවරයා තමන්ටම ආවේණික කියවීමක් තුළ හිදිමින් කථා තේමාව ගොඩනගා ඇති අතර ඔහුගේම අදහස්වලින් නම් එය සිංහයෙකු මුල්කරගත් අපට හුරු පුරුදු සිංහබාහු කතාව ඉතිහාසයේ සිදුව ඇති වැරදි අර්ථ කථනයකි. තිරිසන් සතෙකු හා මනුෂ්‍ය කාන්තාවකගේ එක්කාසුවක් පිළිබඳව අදහස් වන වැරදි කියවීමකි. අධ්‍යක්‍ෂකවරයා එක්තරා අයුරකින් උත්සාහ ගෙන ඇත්තේ තමා දුටු එම ඓතිහාසික වරද නිවැරදි කිරීමටයි. ඒ අනුව ඔහු තම අරමුණ කරා යමින් ඉතාමත් දක්‍ෂ අයුරින් තමා ගොඩනගා ගත් නවතම තේමාවට අනුව චරිත මෙහෙයවමින්, නළු නිළියන්, වේෂ නිරූපණ, පාට, වර්ණ, හැඩතල, ඇදුම් පැළදුම්, භාෂාව, පසුබිම් ගීත, තෝරා ගනිමින්, තීරණය කරමින් සිනමාව පිළිබද තම අත්දැකීම්ද සුපුරුදු හැකියාවන්ද භාවිත කරමින් ඉතාමත් සාර්ථක සිනමා නිර්මාණයක් සිදුකර ඇත.  
 
කෙසේ වුවද එහිදී මා දුටු සුවිශේෂම දෙයක් වන්නේ තිරිසන් සතෙකු වුවද මනුෂ්‍යයෙකු වුවද සිංහයා වෙත තිබූ අප්‍රමාණ දරු සෙනෙහසයි. ඇට මස් නහර තුළට කා වැදී ඇති දරු සෙනෙහස වඩාත් සාර්ථකව හා සංවේදීව සිනමා නිර්මාණය තුළ ප්‍රකාශයට පත්වේ. එනම් අප්‍රමාණ සෙනෙහසකින් දරුවන් රකිනා පියෙකු ලෙස සිංහයාගේ චරිතය බොහෝ දුරට මතුව ඇත. නමුත්, වසර ගණනාවක් අසා දැක බලා පුරුදු වූ සුප්පාදේවියගේ හා සිංහයාගේ ප්‍රේමය එක්තරා අයුරකින් යටපත්ව ඇත. එනම් “නැත ලොවේ අන් රසදුනා, ආදරය සේ සුවදෙනා”  කීමට තරම් සිංහයා වෙතින් ලැබූ ප්‍රේමය කිසියම් අයුරකින් අමතක වී ඇත. සුප්පා දේවිය, එනම් තරුණ රජ කුමරියක පැහැර ගැනීම, මහ කැලයේ වුවද රෑජිණකව ලෙසින් සිටි තව කාන්තාවකට කිසිදු සාධාරණ හේතුවකින් තොරව දරුවාද, සැමියාද අතහැර යාමට සිදු වීම, සිනමා පටයේ එන විශේෂ සිදුවීම්ය. තිරිසන් සතෙකු වූ සිංහයා නොකළ නමුත්, සිනමා පටයේ එන මිනිස් සිංහයා කළ තරුණ කුල කුමරියක බලෙන් පැහැර ගැනීම, මවකට දරුවා අහිමි කරමින් කිසිදු සාධාරණ හේතුවකින් තොරව  පළමු බිරිදව අතහැර දැමීම, තිරිසන් සතුන් නොකරන, ඇතැම් විට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් පමණක් කරන සාමාන්‍ය දේවල් විය හැකිය.
 
කෙසේ වුවද, පිය අණට අකීකරුව මව සහ නැගණිය සමඟ වනය අතහැර නිදහස සොයා යන සිංහබාහු මවගෙන් හෝ පියාගෙන් උරුම නොවුණ මුත් හදා ගත් මවගෙන් උරුම වන රාජධානියක් වෙත යාමද රාජධානිය හා රටවැසියා බේරාගැනීමට යයි සිතා තමා දැන හෝ නොදැන පියා වෙතින්ම ලැබූ අසහාය ශිල්ප ඥානයම භාවිත කරමින් තම පියා ඝාතනය කිරීමද සිදු වේ. සිංහබාහු පුතා අතින් පියා වූ සිංහයාව ඝාතනය වීම ශෝකාන්තයකි. නමුත්, එය තරමක් හෝ යටපත් කරන්නට හෝ සාධාරණීකරණය කරන්නට මෙන් සිංහයා වන පියා විසින්  පුතා හඳුනා ගත්තද අවසන් මොහොත වන තුරුම පුතා සිංහබාහු තම පියා හඳුනා නොගැනීමක්ද මතු කර ඇත.
 
පියා හඳුනා ගත් පසු මරණයට ආසන්නව සිටින තම පියා ඉදිරියේ පුතු සිංහබාහු හඬා වැළපෙයි. නමුත්, සියලු අමනාපකම් අමතක කර මරණය ඉදිරියේ වුවද අත නොහරින අපමණ දරු සෙනෙහසින් පුතා ආමන්ත්‍රණය කරන පියා නැගණියත් මවත් රැකගන්නා ලෙස ඉල්ලීමක්ද කරයි- සිංහබාහු සිනමා නිර්මාණය පුරා දිග හැරෙන මෙම සංවේදී සිදුවීම් මාලාව අධ්‍යක්‍ෂකවරයා තමා ගොඩනගා ගත් නව තේමාවට අනුව ඉතාමත් සාර්ථකව පෙළගස්වා ඇත.
 
ඒ අනුව සාම්ප්‍රදායික “සිංහබාහු” වෘතාන්තය හෝ මහඇදුරු සරත්චන්ද්‍රයන්ගේ අසහාය සිංහබාහු නිර්මාණය පිළිබඳව හෝ ඇති අත්දැකීම් පිළිබඳව නොසලකා හරිමින් කෙනෙකුට සිංහබාහු සිනමා නිර්මාණය රසවිඳිය හැකිනම්, එය කාලයකට පසු සිංහල සිනමා ක්ෂේත්‍රයේ බිහිවූ සුන්දර සිනමා නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය.
 
 
මහාචාර්ය නාමලී කුමාරි හඳගම, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Back to top
Go to bottom

Popular News