lan englan tam

පුවත්

ගජයින් ලද සම්මාන ගැන සතුටුයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගජයො ගොඩකට සම්මාන

 ඊයේ තිබුුණු සරසවි සම්මාන උළෙලේදී මගේ සහෝදර කලා ශිල්පීන් ගණනාවකටම සම්මාන ලැබිලා තිබුණා.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ පාංශු චිත්‍රපටියේ මා කළ රඟපෑම වෙනුවෙන් මටත් 2020 වසරේ හොඳම සහය නිළිය හැටියට සම්මානයක් ලැබිලා.
 
අපේ පාංශු චිත්‍රපටිය   සම්මාන 9 ක්ම දිනාගෙන.
හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය (විසාකේස චන්ද්‍රසේකරම්), හොඳම නිළිය (නීටා ප්‍රනාන්දු), හොඳම සහය නලුවා (මයුර කාංචන), හොඳම නැගී එන නළුවා (සේවියර් කණිෂ්ක) හොඳම සංස්කරණය (සිතුම් සමරජීව), හොඳම සංගීතය (චින්තක ජයකොඩි), හොඳම කලා අධ්‍යක්ෂණය ( කුමාර කරව්දෙනිය).
 
පාංශු චිත්‍රපටියේ රඟපෑම මගේ රංගන ජීවිතේට ලොකු එළියක් ගෙනා අවස්ථාවක්. විසාකේස අයියා ඒ චරිතෙට මට කතා කළේ, “පිටපත ලියද්දිම ඔයාගේ මූණ තමයි මගේ ඔලුවේ තිබුණේ” කියලා. රූගත කිරීම් කරන දවස්වල මං පිටරට හිටියත් ඒ ඔක්කොම දමලා ගහලා ලංකාවට ගියා ඒකේ රඟපාන්න. ඒකේ රූගත කිරීම් වලට විසා අයියා එක්ක, නීටා අක්කා එක්ක වැඩමුළු කරපු කාලය සහ රූගත කිරීම් කරපු කාලය ගොඩක් දේ ඉගෙන ගත්තු සරු කාලයක් වුණා. රඟපාන පිස්සුව තමයි ජිවිතේ හැදිච්ච හොඳම පිස්සුව කියලා කොච්චර අමාරුකං මැද වුණත් අදත් හිතෙනවා. ඒ පිස්සුව නොනීමී දිගටම ඇවිලේවා. 
 
ඒත් එක්කම මගේ අතිජාත මිත්‍රයෝ ගණනාවකට මලිත් හෑගොඩගේ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටිය (2019)  වෙනුවෙන් සම්මාන ලැබිලා.  ඒකෙත් මං චරිතයක් රඟපාලා තිබුණනෙ.  ඒක කරද්දිත් මලිත් රංගන ශිල්පීන් එක්ක කරපු පර්යේෂණාත්මක වැඩ පස්සේ කාලෙකත් එක එක විදියට ප්‍රයෝජනවත් වුණා. 
 
2019 වසරේ හොඳම අධ්‍යක්ෂණය (මලිත් හෑගොඩ), හොඳම පිටපත් රචනය (බූපති නලින්), හොඳම නිළිය ( විශිෂ්ට රඟපෑමක් කළ මගේ බොක්කෙ මිතුරී, සමාධි ලක්සිරි), හොඳම නළුවා (බිමල් ජයකොඩි), හොඳම සහාය නළුවා (ලක්ෂ්මන් මෙන්ඩිස්), හොඳම සංස්කරණය (මලිත් හෑගොඩ) කියන සම්මාන ඔක්කොම ලැබිලා තිබුණේ “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටියට. 
 
සුමුදු ගුරුගේටත් 2019 හොඳම සංගිත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලැබිලා. මේ ඔක්කොමලා  ආදරණීය මචංලා. ඊයේ සම්මාන උළෙල ඉවර වෙලා පවත්වන සාද වල මේ කොයි කවුරුත් ඉන්න ඇති බදා වැළඳ ගෙන.  අපරාදේ! මං නෑනේ!
 
නිව්ස්පේපර් චිත්‍රපටියේ කුමාර තිරිමාදුර සොයුරා 2020 වසරේ හොඳම නළුවා සම්මානය ලබා ගෙන තිබ්බා.  මීට අමතරව වෙනත් චිත්‍රපටිවල සහෝදර ශිල්පී ශිල්පීන්ට සම්මාන ලැබෙන්න ඇති අනිවාර්යෙන්. මම මේ වෙද්දි දැනගත්තු විස්තර අනුව, සම්මානිත හිත මිතුරු කැළට ජයවේවා කියන්න තමයි මේ කුඩා සටහන ලියන්න ගත්තේ. අපි ඔක්කොටම BRAVO!
 
මට තව විශේෂ දෙයක් එකපාරට මතක් වුණා. පාංශු චිත්‍රපටියේ මගේ ස්වාමි පුරුෂයා හැටියට රඟපෑ මයුර කාංචනත්, සේවියර් කණිෂ්කත්, මමත් අපි තුන්දෙනාම ආරම්භයේදී එකම තැනකින් රංගනය හදාරපු අය. අපි තුන්දෙනාම කෝට්ටේ කුඹුක්ගහදූවේ සෝමලතා සුබසිංහ රංගායතනයේ වසර ගාණක් ඉගෙන ගත්තු අය. එතන නාට්‍ය වල රඟපාමින් වේදිකා රංගනය පුහුණු කළ අය. ඒ බව සඳහන් කරන්නේ, මගේ සදාදරණීය ගුරුවරිය සෝමලතා සුබසිංහ මිස්වත් ඇය ආරම්භ කළ ළමා හා යොවුන් රංග පීඨයත් පිළිබඳ මහත් ගෞරවයෙන් සිහිපත් කරමින්. 
ආයෙමත් අපි ඔක්කොට BRAVO!
 
නදී කම්මැල්ලවීර
Back to top
Go to bottom

Popular News