lan englan tam

විශේෂාංග

දෙහදක් යා කළ මිහිරි සප්ත ස්වරයේ සිනමාලංකාරය - "Rhythm of the Guitar: Clarence"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

චරිතාපදාන - සංගීත චිත්‍රපට ප්‍රභේදය (biographical musical Film Genre) තුළ දක්නට ලැබෙන ප්‍රධාන නිරික්ෂණය වන්නේ සංගීත ක්ෂේත්‍රයේ සැබෑවට ජීවත් වූ යම් සුවිශේෂි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ ජීවිතය අළලා සකසන චිත්‍රපට ප්‍රභේදයක් ලෙසිනි.

මෙම චිත්‍රපට ප්‍රභේදය සැමවිටම ඔවුන් ඇසුරු කළ සංගීත විෂයෙහි හෝ ජීවිතයේ ප්‍රධාන අවස්ථා, ජයග්‍රහණ සහ අරගල නිරූපණය කිරීම සිදු වෙයි. සමහර විට ඓතිහාසික කරුණුවලට සමීපව අනුගත වන අතර, තවත් විටෙක ආඛ්‍යාන අරමුණු සඳහා සිදුවීම් ප්‍රබන්ධ කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීමේ තත්ත්වය අනුව සිදු වෙයි. මෙම චිත්‍රපට ප්‍රභේදය ඇසුරින් චිත්‍රපට නිර්මාණය කිරීම බහුල ලෙස සිදු කරන්නේ හොලිවුඩ් සිනමාවයි.

හොලිවුඩය වසරක් පාසා නිරතුරුවම චරිතාපදාන සිනමාපට නිර්මාණය කරන්නට උනන්දු වෙති. නිදර්ශනයක් ලෙස ගිය වසරේ තිරගත වූ සුප්‍රකට සම්මානනීය ගායක බොබ් ඩිලන්ගේ ජීවිතයේ එක් පැතිකඩක් අලළ නිර්මාණය කළ 'A Complete Unknown' සිනමාපටය ඉතා වැදගත් සිනමාපටයකි. මෑතභාගයේ ලාංකේය සිනමාව තුළ ද චරිතාපදාන ශානරයේ චිත්‍රපටයක් තිරගත විය. ඒ 'රාණි' සිනමාපටයයි. ඊට විෂය වූයේ සුප්‍රකට මාධ්‍යවෙිදි රිචර්ඩ් ද සොයිසාගේ ඝාතනය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඇගේ මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ අරගලය ඇසුරින් සිනමාගත වීමයි.

රාණි සිනමාපටයෙන් පසුව චරිතාපදාන - සංගීතමය සිනමාපටයක් අති සාර්ථක ලෙස තිරගත වෙයි. ඒ තේජා ඉද්දමල්ගොඩ විසින් අධ්‍යක්ෂණය කළ 'රිදම් ඔෆ් ගිටාර්: ක්ලැරන්ස්' සිනමාපටයයි.

 

485153340 122129897594698665 8267312739273288587 n 3

 

පෘතුවිය වෙත දශක ගණනාවක ඒ ඒ දේශ දේශාන්තරවල පහළ වූ සුප්‍රකට දේශපාලන නායකයන්, ගායක ගායිකාවන්, නළු නිළියන්, චිත්‍ර ශිල්පීන්, කලාකරුවන් සියලූ දෙනා සමාජය වෙත සිය කාර්යභාරය කර තිබෙන්නේ ඉතිහාසය විසින් ඔවුන්ට දෛවය විසින් හිමි කර දෙන ලද තත්වයක දී බව අමතක නොකළ යුතු ය.

ක්ලැරන්ස් විජේවර්ධන නමැති කලාකරුවා ද එසේමය. ඔහු ලාංකේය සංගීත කලාවේ නොමැකෙන සන්නාමයක් බවට පත්වන්නට ප්‍රධාන හේතුවක් ලෙස ලියුම්කරු සඳහන් කරන්නේ පදවැල් ලියා, ගී තනුවද නිර්මාණය කළ ගායකයන් ඉතා දුර්ලභ බැවිනි. එවැනි පරිකල්පනයක් සහිත විපුල දක්ෂතාවයක් හිමි ගායකයකු බිහිවන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ ලාංකේය සංගීත කලාව තුළ එක් නිශ්චිත යුගයක් නියෝජනය කළ 'ක්ලැරන්ස් විජේවර්ධන' නම් ජනප්‍රිය ගායකයා, සංගීතඥයා, පද රචකයා, සෞන්දර්වේදියාගේ ජීවිතය තුළ එක් පැතිකඩක් සිනමාරූපිව 'රිදම් ඔෆ් ගිටාර්' සිනමාපටය හරහා නිරූපණය වේ.

 

 

ක්ලැරන්ස් නම් සංගීතවේදියාගේ බිහිවීමත් ඊට සමගාමීව ඔහුගේ දිවියේ සුවිශේෂි මොහොතක් වන ඔහුගේ ප්‍රේමය හමුවීම යනාදී තල කිහිපයක් ඔස්සේ සිනමාපටයේ තිර රචනය සැකසී ඇත. සිනමාපටයට විෂය වන්නේ මුල, මැද සහ අග සහිතව සුමට ලෙස ගලා යන කතා පුවතකට වඩා සිද්ධි සමුදායකි. මේ සිද්ධි එකිනෙක ගැළපීමේ දී එකිනෙකට වෙනස් චරිත කිහිපයක හැඩතල නිරායාසයෙන්ම මතු වන එකම ආකෘතියක් ගොනඟා ඇත.

ක්ලැරන්ස් විජේවර්ධන නමැති චරිතය කතා කරන්නට නම් ඔහුගේ සංගීත භාවිතය නැතිවම බැරිය. මුළු සිනමාපටය පුරා අධ්‍යක්ෂවරයා විසින් තිර පිටපත සකස් කර ඇත්තේ ඔහුගේ ගීත ගොනුව වටායි. ප්‍රේක්ෂකයා ප්‍රමෝදයට පත් කරන සුවිශේෂි ගුණයක් සිනමාපටය සතු වෙන්නේ මෙතැනදිය. ක්ලැරන්ස් විසින් ගැයු ගී නව සංගීත සංයෝජනයක් යටතේ ගීත පෙළක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම අතිශය වැදගත් සාධකයකි. ප්‍රේක්ෂකයා නිරායාසයෙන්ම අතීතයට කැන්දාගෙන යන්නට සමත් වන්නේ මෙම ගීත පෙළයි. විශේෂයෙන් මංගෝ කළු නැන්දේ, දිල්හානි දුවණි, සුරඟන වෙස් වලා, ගමෙන් ලියුමක් ඇව්ල්ලා, කුමාරයාණෙනි ආදී ජනප්‍රිය ගීත පෙළ විසින් මවන රසය අපුරුයි. දෙබස් රචනය සහ රිද්මයානුකූලබවකින් යුතු කතාවේ ගලායෑම තිර රචනයේ ප්‍රශස්ථබව කියාපෑමට සමත් වෙයි.

ක්ලැරන්ස්ගේ දිවි සැරිය තුළ ඔහු ලංකාවෙි සංගීත කලාවට සිදු කළ මෙහෙවර පිළිබඳ මෙහිදි සිහිපත් කළ යුතුමය. 60 දශකයේ අගභාගයේ දී එනම් වර්ෂ 1966 දී බිහි කළ 'මූන්ස්ටෝන්ස්'(Moonstones) සංගීත කණ්ඩායම ලාංකේය කණ්ඩායම් සංගීත කලාව උඩුයටිකුරු කළේය. බොක්ස් ගිටාර් කිහිපයකින් ආරම්භ කරන ලද මෙම සංගීත ගමන ඉලෙක්ට්‍රික් ගිටාර්, ඩ්‍රම්ස්, සෙක්සපෝන්, ඔිගනය වැනි බටහිර සංගීත භාණ්ඩ උච්ත ආකාරයෙන් යොදා ගනිමින්, දේශීයකරණය වූ පොප් සංගීත කලාවක් ලාංකේය සංගීත කලාව වෙත බිහි කරලීමට සමත් විය. රිදම් ගිටාරය, බෙිස් ගිටාරය සහ ලීඩ් ගිටාරය බටහිර සංගීත භාණ්ඩ තත් වයමින් ලාංකේය ගීත අසන්නන් වෙත තිළිණ කළේ අපුරු නාද රටාවන්ය. සුඛනම්‍ය බසකින් පදවැල් ගෙතීමට ක්ලැරන්ස් දැක් වූ ප්‍රතිභාවත්, රිදම් ගිටාරයේ තත් අතරේ තම ඇඟිලි එහාට මෙහාට ගමන් කරවමින් නිර්මාණය කළ තනුවකට එම පදවැල් මුසු කිරීමට දැක් වූ අසීමිත නිර්මාණ ශක්තිය සිනමාපටය තුළිින් සිහිගන්වන්නට සමත්කම් දක්වයි.

ක්ලැරන්ස් 1972 දී මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් ඉවත් වී 'ද ගෝල්ඩන් චයිම්ස්' නමින් අලුත් සංගීත කණ්ඩායමක් අරඹයි. ක්ලැරන්ස් මුල්වරට චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරන්නේ එච්.ඩී. ප්‍රේමරත්නගේ කුළුඳුල් චිත්‍රපටය වූ 'සිකුරුලියා' සිනමාපටය වෙතටයි. ප්‍රේමරත්න බියක් සැකක් නැතිව ක්ලැරන්ස් කෙරෙහි විශ්වාසය තැබුවේය. ක්ලැරන්ස් විසින් සිකුරුලියා චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ ගීත සියල්ලම පාහේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය විය. ඉන් මිල්ටන් පෙරේරා විසින් ගායනා කරන ලද ධර්මසිරි ගමගේ ගීත රචනා කළ ''සිකුරුලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා" ගීතය අතිශයින් ජනප්‍රිය විය. එය සිනමාපටයේ එක දර්ශනයකදි පසුබිමින් වාදනය වෙයි. මේ ගීතය මුලින් ගායනා කිරීමට යෝජනා වූයේ අමරදේව හෝ වික්ටර් රත්නායක වෙතට ය. ක්ලැරන්ස් හා ප්‍රේමරත්නගේ අවසන් තීරණය වූයේ මිල්ටන්වය. මිල්ටන් ඉන්දියාවට ගොස් තම ප්‍රියතම සංගීතඥයා වූ නෞෂාඩ් හමුවීමට ගෙන ගිය ගීත අතර සිකුරුලියා බොළඳ ලියා ගීතයද විය. නෞෂාඩ්ගේ හිත එකවරම එම ගීතයේ ගායනයට හා තනුවට ඇදී ගොස් ප්‍රශංසාව පළකොට ඇත. එහි සංගීතඥයාට තම සුබපැතුම් පිළිගන්වන්නැයි ඔහු පවසා ඇත.

සිකුරුලියා චිත්‍රපටයට ක්ලැරන්ස් නිර්මාණය කළ වසන්තයේ මල් කැකුළයි (ගායනය - ඉන්ද්‍රානි පෙරේරා, ගේය පද - ක්ලැරන්ස්) ගීතය ද තවමත් ජනප්‍රිය ය. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ අපේක්ෂා චිත්‍රපටයට ක්ලැරන්ස් නිර්මාණය කළ "සඳ තනිවෙලා කලක් ඇවෑමෙන් පෙරුම් පුරා (එඩ්වඩ් මල්ලවාරච්චි හා ඇන්ජලීන් ගුණතිලක), "සොඳුරු ලොවට මල් වැහැලා"(එච්. ආර්. ජෝතිපාල හා සුජාතා අත්තනායක) අනෙකුත් චිත්‍රපට ගීත වේ. ක්ලැරන්ස් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර 'හලෝ ශ්‍යාමා' චතුමධුර, චලිත රංගලි චිත්‍රපටය ද සුසීමා හා නිදිකුම්බා මල් ටෙලිනාට්‍යය ද වෙයි. ජනක සහ මංජු චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ඔහු ගැයූ 'ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ' ගීතය ද අතිශය ජනප්‍රිය ගීත අතර වේ.

සිනමාපටයේ ක්ලැරන්ස් විජේවර්ධනගේ චරිතය නිරූපණය කරන ලාංකේය සිනමාවට හඳුන්වාදෙන නවක නළු දමිත් විජයතුංග වෙතින් රංගන පරාසයක් නොපෙනුණ ද සැහැල්ලු රංගනයක් ඉදිරිපත් කරයි. ඒ අනුව ලාංකේය සිනමාවට දමිත් විජයතුංග යනු හොඳ සොයාගැනීමකි. ඔහුට ආවේණික කඩවසම් රූපකාය විසින් සිනමාපටය වෙත නවමු බවක් ඇති කරයි. ශීලා විජේවර්ධනගේ තරුණ අවධිය නිරූපණය කරන නිහාරි පෙරේරාගේ රංගනය චිත්‍රපටය වෙතට මනා චමත්කාරයක් එක් කරයි. ඇනස්ලි මාලේවනගේ චරිතය සඳහා පණ පොවන සාරංග දිසාසේකර තුළින් මතුවන්නේ කෘතීම රංගනයකි. ඔහු තුළින් ඇනස්ලි මාලේවන චරිතය නිරූපණය වීමට සාපේක්ෂව සාරංග දිසාසේකර ඉස්මතු වීම නොවැලැක්විය හැකි දෙයක් බවට පත්වෙයි. මංගෝ නැන්දාගේ චරිතය සඳහා පණ පොවන ෆර්නි රෝෂණි වඩාත් අවධානයක් දිනාගන්නා රංගනයක නිරත වෙයි. දිනක්ෂි ප්‍රියසාද් විසින් ඉන්ද්‍රාණි පෙරේරාගේ රූපය වෙතට මඳකුදු හෝ නොගැළපුණ ද ඇයගේ රංගනය යම් ආකර්ෂණයක් ගෙන එන්නට සමත් වෙයි.

 

508126310 1282868717178619 762051284072338785 n

 

1960 දශකයේ ලාංකේය ජන සමාජයේ හැඩය සහ ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීම චිත්‍රපටයේ වැදගත් අංශයකි. පසුතල නිර්මාණය, නෙක නෙක විලාසිත මවන ඇඳුමි පැළඳුම්, කොණ්ඩා විලාසිතා ආදී සියල්ලම චිත්‍රපටයේ එන කතාවේ විශ්වසනීයත්වය ඉහළ දමන ආනුෂංගික අංගයකි. විශේෂයෙන් රුවන් කොස්තාගේ කැමරාව සිනමාපටය වෙත අවශ්‍යම කරන ආකර්ෂණීය රූප පෙළක් මවන්නේ සිනමාපටයේ රූප සත්කාරය ද ඉහළ දමමින්. මනා ශික්ෂණයකින් යුතුව තේමාවට පමණක් නොව, අවශේෂ චරිතවලට ද යෝග්‍ය වන ආකාරයෙන් රූප සංරචනය ආකර්ෂණීයයි. සුරේෂ් මාලියද්දගේ සංගීත අධ්‍යක්ෂණය විසින් ක්ලැරන්ස් වෙතට නව ජීවයක් නොඅඩුව සපයන ප්‍රාණපූර්ණ අපුරුතම සංගීත සංයෝජනයකි. ප්‍රේක්ෂකාගාරය පවා සොයන්නට පොළඹවන්නේ මේ අපුරු සප්ත ස්වරයේ නිර්මාණකරුවා කවුද? කියායි. ඒ තරමින්ම සුරේෂ් මාලියද්දගේ සංගීත සංයෝජනය මිහිරිය. මංජුල අයගමගේ කලා අධ්‍යක්ෂණ කාර්යය විසින් විශ්වසනීයත්වය තහවුරු කරන ආකාරයේ පසුතල නිර්මාණ කාර්යයක් සිදු කර ඇත. සංගීතමය සිනමාපටයකට උච්ත නෙතට ප්‍රිය සනීපදායක වර්ණ සංයෝජනයක් ආකර්ෂණීය ලෙස නිමකර ඇත.

 

505301047 122125908908803947 8421917159922511893 n 1

 

සිනමාකරු තේජා ඉද්දමල්ගොඩ විසින් චරිතාපදාන චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ දී සිදු කර ඇති පර්යේෂණාත්මක අවබෝධය සහ එම වෙහෙස සිනමාපටය තුළින් වඩාත් කැපී පෙනෙයි. තේජා ඉද්දමල්ගොඩගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙස ඔහුගේ පරිකල්පන ශක්තියත් වෙහෙසමින්, ලාංකේය කඳුකර පරිසරයේ අසිරිමත්බවින් විපුල ඵල නෙළ ගත් අපුරු සිනමාකරුවකු ලෙස හැඳින්වීම උචිත ය. ඔහුගේ කුළුදුල් සිනමා නිර්මාණය වූ 'ආශාවරී' සිනමාපටයේ ද කඳුකරයේ පවතින අසිරිමත් රූප සංරචනයන් දක්නට ලැබිණ. හෝරා දෙකක් පුරා ප්‍රේක්ෂකයා සිනමාහල තුළ රඳවාගනිමින්, කම්මැළිකමින් තොරව යළි යළිත් නරඹන්නට පොළඹවන ආකාරයේ සිනමාපටයක් නිර්මාණය කර ඇති ආකාරයෙන් නිරික්ෂණය වන්නේ තේජා ඉද්දමල්ගොඩ සිනමා පරිකල්පනයක් සහිත අධ්‍යක්ෂවරයාගේ සාර්ථකත්වයයි. 'Rhythm of Guitar: Clarence' යනු මෑතභාගයේ ලාංකේය සිනමාව තුළ නිර්මාණය ප්‍රශස්ථ සිනමාපටයක් ලෙස සනිටුවහන් කරන නිර්මාණයකි. එය ප්‍රේක්ෂකයාව කුල්මත කරවන, ක්ලැරන්ස්ට ආදරය කරන සහ ඔහුගේ අතීතකාමය සමඟ වෙළි සිටින ප්‍රේක්ෂකාගාරයට වටිනා සිනමාපටයක් වනුබව නම් නිසැකයි.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

රචනය - මලින්ත විතානගේ

(මෙම ලිපිය මුල්වරට 2025 ජූලි 18 සිකුරාදා දිනම්ණ පුවත්පතේ පළ කෙරිණ.)

 

kemadasa

shungara

Back to top
Go to bottom