lan englan tam

විශේෂාංග

'ජනාධිපති අතුරුදහන්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් ජනපති ධුරයෙන් සමුගත් පසු වැඩිම ආදායමක් උපයාගත්තේ දේශන පවත්වමිනි. දේශන පැවැත්වීමට බිල්ට විශාල මුදලක් ගෙවීමට බොහෝ සමාගම් ඉදිරිපත් වූ අතර ජනපති හා අගමැති ධුරවලින් සමුගත් ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය දේශපාලකයන් බහුතරයක් දේශන පැවැත්වීමෙන් විශාල මුදලක් උපයන බව වාර්තා වෙයි.

කෙසේවුවද දේශන පැවැත්වීමෙන් පමණක් නොනැවතුණු බිල් ක්ලින්ටන් ‍පොත්ද ලිව්වේය. නමුත් ඒ නවකතා නොවේ. මෙවර ධවල මන්දිර ජීවිතය ඇතුළත් නවකතාවක් සුප්‍රකට ‍ලේඛක ජේම්ස් පැටර්සන් සමග එක්ව ක්ලින්ටන් ලියමින් සිටින බව පසුගියදා වාර්තා විය. ජේම්ස් පැටර්සන් මේ වනවිට ජීවතුන් අතර සිටින සාර්ථකම ‍ලේඛකයා ලෙස හැඳින්වෙන අතර මේ දෙදෙනා එක්ව ලියන ‍පොතේ නම “ද ප්‍රසිඩන්ට් ඊස් මිසින්”ය. (ජනාධිපති අතුරුදහන්.)

ඇමෙරිකානු ජනපතිවරයෙකු පමණක් දන්නා තොරතුරු ඇතුළත්කොට මේ ‍පොත ලියන බව කියැවෙන අතර ලබන වසරේ ජුනි මාසයේදී ඇල්ෆ්‍රඩ් ඒ. නොෆ් ප්‍රකාශන සමාගම විසින් එය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

“ජනාධිපතිවරයෙක් ගැන ‍පොතක් ලිවීම, ඇමෙරිකානු ජනපතිවරයෙකුගේ කාර්යභාරය ගැන මා දන්නා දේ ලිවීම, ධවල මන්දිරයේ ජීවිතය ගැන ලිවීම, වොෂින්ටනය කටයුතු කරන ආකාරය ගැන ලිවීම හරිම විනෝදජනකයි.” හිටපු ජනපතිවරයා කියයි. ඒ වගේම මගේ ප්‍රියතම නවකතාකරුවෙක් වන ජේම්ස් සමග වැඩකරන්න ලැබිම හරි අපූරු අත්දැකීමක්.”

මේ නවකතාවට ඇතුළත් වන පුවත ගැන වැඩිදුර විස්තර හෙළිවී නැති අතර ‍පොත පිටවීමත් සමග ක්ලින්ටන් හා පැටර්සන් දෙදෙනා එයට ප්‍රචාරය ලබාදෙමින් රට රටවලට යාමට නියමිතය.පැටර්සන් මේ වනවිට ‍පොත් එකසිය තිහක් ලියා ඇති අතර ‘ද ප්‍රසිඩන්ට් ඊස් මිසින්’ ක්ලින්ටන්ගේ පළමු නවකතාවය. මයි ලයිෆ්, ගිවින්, බැක් ටු වර්ක් ඔහු ලියූ වෙනත් කෘති අතර වෙයි.

මයි ලයිෆ් ඔහුගේ ජීවිත කතාවය. 2004දී නිකුත්වූ එම ‍පොත අලෙවිය අතින් බෙහෙවින් සාර්ථක වූ අතර බිල් ක්ලින්ටන් විසින් ලියා 2007 වසරේදී නිකුත්වූ “ගිවින්-හව් ඊච් ඔෆ් අස් කැන් ච්ෙන්ජ් ද වර්ල්ඩ්” නම් ‍පොතට පාඨක හා විචාරක ප්‍රසාදය එකසේ ලැබුණු අතර ඇමෙරිකාවේ වැඩිපුරම විකිණෙන ‍පොත් අතරට එක්විය. මෙම ‍පොත ලිවීම වෙනුවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන හයකට අධික මුදලින් මිලියනයක් ක්ලින්ටන් සමාජ සේවය වෙනුවෙන් වෙන් කළේය. ‍පොත් ලිවීමෙන් බිල් මෙන්ම බිරිය හිලරිද මේ වනවිට විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ. 2016 වසරේ ෆෝබ්ස් සඟරාව පවසා සිටියේ පසුගිය වසර අටක කාලය තුළ බිල් ක්ලින්ටන් දේශන පැවැත්වීමෙන් හා ‍පොත් ලිවීමෙන් උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන අනූදෙකක් බවය.තම ජීවිත කතාව ඇතුළත් මයි ලයිෆ් ‍පොත වෙනුවෙන් ක්ලින්ටන් ප්‍රකාශයට පෙර ලැබූ මුදල ඒ වනවිට ‍පොතක ප්‍රකාශන අයිතිය ලබා ගැනීමට ගෙවූ වැඩිම මුදල ලෙස වාර්තා විය. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන පහළොවකි. මයි ලයිෆ් ලියන්නට ඔහුට වසර දෙකහමාරක් ගතවූ බව කියැවේ. පිටු එක් දහස් අටකින් යුතු මයි ලයිෆ් මේ පිටු ගණන නිසාම එහි දීර්ඝ බව ගැන විවිධ විහිළුතහළුවලට බොහෝවිට ලක්විය.

ජනපති පදවියට පත්වන්නට පෙර ක්ලින්ටන් ආකන්සාස් හි ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළේය. ඇමෙරිකාවේ හතළිස් දෙවැනි ජනපතිවරයා වූ ක්ලින්ටන්ගේ පසුකාලීන දේශපාලන ජීවිතය අසාර්ථක වූයේ තම බිරිය හිලරි හා දියණිය සමග ගෙවන පවුල් ජීවිතයට වෙනත් කාන්තාවන් මැදිකරගැනීම හේතුවෙනි. විශේෂයෙන් තම ජනපතිවරණ ප්‍රචාරක කටයුතුවලට උපකාර කළ තරුණියක වූ මොනිකා ලුවින්ස්කි සමග ඇතිකරගත් අනියම් සබඳතාව ක්ලින්ටන්ගේ පෞද්ගලික හා වෘත්තීයමය ජීවිතයට ඇති කළේ දැඩි අපකීර්තියකි. කෙසේවුවද ඔහුගේ පවුල් ජීවිතය රැකුණ අතර පසුකලක බිරිය හිලරි ක්ලින්ටන්ද දේශපාලනයට පිවිසියාය. පසුගිය ජනපතිවරණයේදී වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇය තරග වදිද්දී බිල් එම ප්‍රචාරක ව්‍යාපාරයට දැඩි සහයෝගයක් ලබාදුන්නද ඔහුගේ අතීත කාන්තා සබඳතා එහිදීද මතුව ආවේ හිලරිට අවාසියක් දෙමිනි.

නිශානි දිසානායක

Back to top
Go to bottom

Popular News