බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු අද (22) සිය 12 වන උපන්දිනය සමරනු ලැබ තිබෙනවා.
2013 වසරේ ජූලි 22 දා ලන්ඩන් නුවර ශාන්ත මේරී රෝහලේ දී උපතට ලැබූ ජෝර්ජ් කුමරු එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ වැඩිමහල් දරුවායි.
රාජකීය ධූරාවලිය හා සම්ප්‍රධායන්ට අනුව සිංහාසනයට සිටින උරුමකරුවන් අතර ජෝර්ජ් කුමරු දෙවන ස්ථානයේ පසුවෙනවා.
අද දිනට යෙදී තිබුණු ජෝර්ජ් කුමරුගේ උපන්දිනය වෙනුවෙන් රාජකීය පවුලේ නිල X ගිණුම හරහා කුමරුගේ ඡායාරූපයක් ද පළ කර තිබූ අතර "ජෝර්ජ් කුමරුට සුභ 12 වන උපන්දිනයක්!" යනුවෙන් සටහනක් ද එක් කොට තිබුණා.
මෙහිදී පළ කොට තිබූ ඡායාරූපයේ ලී ගේට්ටුවක් මත හේත්තු වී ජෝර්ජ් කුමරු සිනාසෙන ආකාරය දැක්වෙන අතර මෙම ඡායාරූපය මෙම වසර මුලදී ඡායාරූප ශිල්පී ජොෂ් ෂින්නර් නම් ඡායාරූප ශිල්පියා විසින් Norfolk හීදී ගන්නා ලද්දක්.

එමෙන්ම 12 වියට පා තැබීමත් සමග බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රධායන්ට අනුව කුමරුගේ දිවියේ වෙනස්කම් රැසක් ද සිදුවීමට නියමිත බව සදහන් වෙනවා.
ප්‍රධාන වශයෙන් එලැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ජෝර්ජ් කුමරුට නව පාසලකට ඇතුලත්වීමට කටයුතු කරනු ඇති බව ද ඒ අනුව කුමරු මේ දක්වා සිය සහෝදරයා හා සහෝදරිය සමඟ අධ්‍යාපනය ලැබූ ලැම්බෲක් පාසලට සමුදීමට නියමිත බවද ද සදහන්. නමුත් මේ ගැන තවමත් නිල සඳහනක් නැහැ.
එමෙන්ම රාජකීය සම්ප්‍රධායක් ලෙස අද සිට ජෝර්ජ් කුමරුට සිය පියා සමඟ එකම ගුවන් යානයක ගුවන් ගමන් වල යෙදීමට අවසර හිමි නොවනු ඇති බව ද සදහන්.
හදිසියේ හෝ ගුවන් අනතුරක් සිදුවුවහොත් එයින් බ්‍රිතාන්‍ය කිරුළේ අනාගත උරුමකරුවන් රැකගැනීම සඳහා රාජකීය පවුළ විසින් මෙම සම්ප්‍රධායන් අනුගමනය කරනු ලබනවා.
විලියම් කුමරු සම්බන්ධයෙන්ද මෙම සම්ප්‍රධාය මෙලෙසම ක්‍රියාත්මක වී ඇති අතර වයස අවුරුදු 12 න් පසුව ඔහුට චාල්ස් රජු හා ඩයනා කුමරිය සමඟ එකට පියාසර කිරීමට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ විශේෂ ලිඛිත අවසරයක් ලබා දිය යුතුව තිබු බව සඳහන් වෙනවා.
ජෝර්ජ් කුමරු සහ ඔහුගේ පියා විලියම් කුමරුගේ ඡායාරූපයක් (විම්බල්ඩන් හීදි)













