-Malintha Vithanage-
ඇමරිකාවේ පෙන්සිල්වේනියා පෙදෙසහි මේබෲක් නගරයේ එක්තරා පාසලක සිසුන් 17 දෙනකු මධ්‍යම රාත්‍රියේ හිටිහැටියේම අතුරුදහන් වෙනවා.
මෙම සිසුන් 17 දෙනාම අතුරුදහන් වන්නේ යමිකිසි කෙනෙකු පැහැරගෙන යාමෙන් නම් නොවේ. ඔවුන් අතුරුදහන්වන්නේ අභුත ආකාරයකටය. එකම වෙලාවක එකම මොහොතකදි සිසුන් 17 දෙනාම තමන් වාසය කරන එක් එක් නිවෙස්වලින් පාන්දර ජාමයේ තම දෑත් මඳක් ඉහළට ඔසවා වේගයෙන් ඈතට පැන දුවයි. ළමුන් 17 දෙනා කොහෙට පැන ගියාදෝ යන්න දෙමාපියන්, ප්‍රදේශවාසීන්, පාසලේ ගුරුවරුන් සැමටම සේම නරඹන අපටත් දැනෙන ප්‍රශ්නයක්. දෑත් විදහා වේගයෙන් දිව ගියේ කොයිබටද? කුතුහලයේ ශ්‍රාවය වෑස්සෙන්ට පටන් ගන්නේ මෙතැන් සිටය. supernatural - mystery - horror ශානරයේ චිත්‍රපටයක් ලෙස ''Weapons'' (2025) සිනමාපටයේ කතාව ආරම්භ වන්නේ එලෙසිනි.

සිනමාපටයේ තිරපිටපත සිත්ගන්නාසුළු එකකි. කතාව ගලායන්නේ මුල, මැද සහ අග යන සහිතව සාම්ප්‍රදායික ක්‍රමයට නොවේ. කුතුහලය වඩවන රේඛිය නොවන ආඛ්‍යාන(Nonlinear narrative) ස්වරූපයකිනි. සියළුම චරිත වෙත අනන්‍ය වූ කතාවක් තිබේ. ඔවුන් එකිනෙකා සිදුවීමි සහ අවස්ථානුකුලව සම්බන්ධ වෙයි. එය චරිතවල පරිචයෙන් පරිචයට විස්තර වෙයි.

''වෙපන්ස්'' අධ්‍යක්ෂණය කර ඇත්තේ ''සැක් ක්‍රෙගර්'' විසිනි. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ මේ වසරේ තිරගත වූ "Companion'' චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වේ. ''Companion'' සිනමාපටය අතික්‍රමණය කරන අපුරු චිත්‍රපටයක් සැක් අතින් නිර්මාණය වී තිබේ. සිනමාපටය පුරා භීෂණය පිරී ලේ වැකි දර්ශනවලින් අන්තර්ගත ය. ''වෙපන්ස්'' වැනි සිනමාපටයක් නරඹනවිට නිරායාසයෙන්ම මතකයට නැඟුණේ මේ වසරේ තිරගත වූ 'Bring Her Back'' හොරර් සිනමාපටයයි. ''Bring Her Back'' සහ ''Weapons'' සිනමාපටයන්වල එන කතා දෙකෙහිම යම් යම් සමාන ලක්ෂණ තිබේ.
''වෙපන්ස්'' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>
යමිකිසි ආකාරයක යාග හෝම භාවිතයෙන් මිනිසුන් පිල්ලි බවට හරවන මායා කර්ම වැඩ සම්බන්ධයෙන් මෙම සිනමාපට දෙකෙහිම කතාවන් සැකසී ඇත.
සිනමාපටයේ මා වඩාත් ආකර්ෂණය කර ගත්තේ කැමරාකරණයයි. කැමරා කෝණ හරහා චිත්‍රපටයේ තිර පිටපතට පණ දෙන්නේ කෙසේද? යන්න පෙන්වන සිනමාපටයකි. සැබෑවටම වසරක් පාසා ඇමරිකාවේ බහුල ලෙස පාසල්වල වෙඩිතැබීමි පිළිබඳ වාර්තා වේ. ඊට ගොදුරුවන්නේ අහිංසක ළමුන් ය. ඇමරිකාවේ ගිනිඅවි භාවිතය ද නිදහස්ය. 'වෙපන්ස්' චිත්‍රපටය විසින් මෙම පාසල් ළමුන් වෙඩිතබා ඝාතනය කිරීම පිළිබඳ සංඥාවක් නිකුත් කරයි. 'වෙපන්ස්' සිනමාත්මක අතින් පොහොසත් Horror චිත්‍රපටයක් සහ නිසැකවම බිය සහ සාහසික ප්‍රචණ්ඩකාරී දර්ශනවලින් වින්දනය සපයන අපුරු චිත්‍රපටයකි.

සටහන - මලින්ත විතානගේ
(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)
















