lan englan tam

පුවත්

පුනරුද (Renaissance) කලාවේ උපන් බිම ලෙස සැලකෙන ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට දැවැන්ත කළු පෙට්ටියක් වැනි නවීන ගොඩනැගිල්ලක්.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Renaissance යන වචනයේ අර්ථය ප්‍රංශ භාෂාවෙන් "නැවත උපත" (Rebirth) යන්නයි. 14 වන සියවසේ ඉතාලියේ ආරම්භ වූ මෙම සංස්කෘතික, බුද්ධිමය සහ කලාත්මක පුනර්ජීවනය යුරෝපීය ඉතිහාසයේ විශාල හැරවුම් ලක්ෂ්‍යයක් විය.

පුනරුද යුගය කලාවට පමණක් සීමා වූ ව්‍යාපාරයක් නොවීය. එය මිනිසා, විද්‍යාව, තර්කය සහ සෞන්දර්යය පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කළ යුගයකි. එහි වැදගත් අංගයක් වූයේ ගෘහ නිර්මාණ ශිල්පයයි.

රෙනෙසාන්ස් ගෘහ නිර්මාණයේ අරමුණ වූයේ සුන්දරත්වය, සමබරතාවය සහ මිනිසාට ගැළපෙන පරිමාණයක් ඇති ගොඩනැගිලි නිර්මාණය කිරීමයි. එහි මූලික අදහස වූයේ:

"ගොඩනැගිල්ලක් මිනිස් ශරීරය මෙන්ම සමානුපාතික, සෞන්දර්යාත්මක සහ තාර්කික විය යුතුය."

යන්නයි.

ෆ්ලොරන්ස් නගරය මෙම නව චින්තනයේ හදවත විය.   එම උරුමය නිසා UNESCO ලෝක උරුම නගරයක් ලෙස එය ආරක්ෂා කරනු ලබයි.

 

firenze

 

නමුත් අද මෙම ඓතිහාසික නගරය නව ප්‍රශ්නයකට මුහුණ දෙයි.

පුනරුද නගරයක මධ්‍යයට පැමිණ ඇති දැවැන්ත කළු පැහැති නවීන ව්‍යුහයක් එහි සියවස් ගණනාවක් පැවති දර්ශනය බිඳ දමයිද?

 

WhatsApp Image 2026 07 25 at 12.02.28 PM

විවේචකයන් පවසන්නේ මෙවැනි දැවැන්ත නවීන ව්‍යුහයක් ෆ්ලොරන්ස්හි ඓතිහාසික අනන්‍යතාවයට නොගැළපෙන බවයි. ඔවුන්ට අනුව නගරයක් යනු වෙළෙඳ ආයෝජන සඳහා පමණක් භාවිත කරන භූමියක් නොව, මිනිස් මතකය, කලාව සහ සංස්කෘතිය රැගෙන යන ජීවමාන උරුමයකි.

එහෙත් නූතනවාදීන් වෙනත් අදහසක් ඉදිරිපත් කරති. ඔවුන් පවසන්නේ ෆ්ලොරන්ස් නගරය කෞතුකාගාරයක් ලෙස ශීත කළ ස්ථානයක් නොව, ජීවමාන නගරයක් විය යුතු බවයි. සෑම යුගයකටම තමන්ගේ ගෘහ නිර්මාණ භාෂාවක් තිබිය යුතු බව ඔවුන්ගේ තර්කයයි.

මෙම ගැටුම තේරුම් ගැනීමට ඉතිහාසය දෙස බැලිය යුතුය.

මධ්‍යකාලීන වැඩවසම් යුරෝපයේ බලය පැවතියේ රජවරුන්, භූමි අධිපතීන් සහ පල්ලිය අතය. එම යුගයේ ගොතික් දෙව්මැදුරු අහස දෙසට නැඟී ගියේ මිනිසාට වඩා දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීම සඳහාය.

නමුත් 14 සහ 15 වන සියවස්වල ඉතාලි නගර වෙළෙඳාම හා බැංකු ක්ෂේත්‍රයෙන් ශක්තිමත් වීමත් සමඟ නව සමාජ පන්තියක් බිහි විය. ධනය සහ බලය භූමියෙන් පමණක් නොව, වෙළෙඳාම, මුදල් සහ දැනුමෙන්ද පැමිණිය හැකි බව පෙන්වමින් රෙනෙසාන්ස් ගෘහ නිර්මාණය බිහි විය.

Italian Renaissance Begins c13501550

එදා පුනරුද ගොඩනැගිලි නව යුගයක පෙරනිමිති විය.

එසේ නම් අද බිහිවන මෙම කළු ව්‍යුහයන් කුමන යුගයක පෙරනිමිතිද?

 

අප ජීවත් වන්නේ ගෝලීය ප්‍රාග්ධනය, තාක්ෂණය සහ නගර සංවර්ධනය විසින් නගරවල ස්වරූපය වෙනස් කරන යුගයකද? නැත්නම් අපගේ ඓතිහාසික මතකය වෙළෙඳ වටිනාකම් සඳහා අහිමි කරන යුගයකද?

ඇමරිකානු ඉතිහාසඥ සහ නගර චින්තක ලුවිස් මම්ෆර්ඩ් (Lewis Mumford) පැවසූ අදහස මෙහිදී නැවත මතක් වේ:

"The city is a theatre of social action."

"නගරය යනු සමාජ ක්‍රියාකාරකම් රඟදක්වන වේදිකාවකි."

මම්ෆර්ඩ්ට අනුව නගරයක් යනු ගොඩනැගිලි එකතුවක් නොවේ. එය මිනිස් සංස්කෘතිය, දේශපාලනය, මතකය සහ සමාජ සම්බන්ධතා එකට ගොඩනැගෙන ජීවමාන සංවිධානයකි.

ඒ නිසා ෆ්ලොරන්ස්හි "කළු පෙට්ටිය" පිළිබඳ විවාදය ගොඩනැගිල්ලක් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ.

එය වඩා ගැඹුරු ප්‍රශ්නයකි:

"අනාගතයේ නගරය නිර්මාණය කරන්නේ කවුද—අතීතයේ මතකයද, නැත්නම් වර්තමානයේ බලයද?

 

- ගයියා-

kemadasa

shungara

Back to top
Go to bottom