lan englan tam

හදවතේ ඇල්කෙමිස්ට්: පාවුලෝ කොයියෝ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Nilanga Karunarathne-

පාවුලෝ ක්වෙල්යෝ (Paulo Coelho) යනු අපේ කාලයේ වඩාත්ම ආදරයට ලක්වූ ලේඛකයන්ගෙන් කෙනෙකි. (ශ්‍රී ලංකාවේ ඔහුගේ නම ලියැවෙන්නේ කියැවෙන්නේ 'පාවුලෝ කොයියෝ' ලෙසයි.)

ඔහුගේ පොත්වල පිටපත් මිලියන 320ක් පමණ ලොව පුරා විකිණී ඇති අතර ඒවා භාෂා 83කට පමණ පරිවර්තනය වී රටවල් 170ක පමණ පළවී ඇත. ඔහුට වටිනා ජාත්‍යන්තර සම්මාන ගණනාවක් හිමිවී ඇති අතර වසර 2007හිදී ඔහුව 'එක්සත් ජාතීන්ගේ සාම දූතයෙකු' ලෙසද නම් කෙරිණි.

 

pcoelhoපාවුලෝ කොයියෝගේ ඡායාරූපයක්

 

පාවුලෝ කොයියෝගේ පොත්වලට මූලික ම අභිප්‍රේරණය වී ඇත්තේ ඔහුගේ ම ජීවිතයයි. ඔහු, මරණය සමග සෙල්ලම් කර ඇත්තෙකි. 'උමතු බවින්' හිඳ එයින් පළාගොස් ඇත්තෙකි. මත්ද්‍රව්‍ය සමගද කල් යවා ඇත. මහත් වූ වධ බන්ධනයන් හට සාර්ථක ලෙස විරෝධය පා ඇත්තෙකි. ඉන්ද්‍රජාලය (Magic) සහ රසවිද්‍යාව (Alchemy) හරහා පර්‍යේෂණයන් කර ඇත්තෙකි. දර්ශනය සහ ආගම හැදෑරුවේ ය. ගිජු ලෙස කියැවූයේය. ඔහුගේ භක්තිය නැතිකරගෙන, නැවතත් එය සොයාගත්තේය. ආදරයේ වේදනාව සහ සතුට අත්වින්දේ ය. ලෝකය තුළ ඔහුගේ තැන සොයාගනු පිණිස, සියලු දෙනා මුහුණ දෙන පොදු අභියෝගයන් සඳහා හෙතෙම පිළිතුරු සොයාගත්තේ ය. ඔහු විශ්වාස කරන දෙයක් ඇත; එනම් අපගේම ඉරණම සොයාගැනීම සඳහා අවශ්‍ය ශක්තිය අප තුළම ඇති බවයි.

පාවුලෝ කොයියෝගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටය වන්නේ The Pilgrim - Paulo Coelho's Best Story (2015) චිත්‍රපටයයි. මේ එහි පූර්ව ප්‍රචාරක පටයෙහි (Trailer) යූ ටියුබ් සබැඳියයි.

 

 

ඔහුගේ වඩාත්ම ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්වූ කෘතිය වන්නේ The Alchemist (රස විද්‍යාඥයා) නම් කෘතියයි. මෙය 'සන්තියාගෝ නම් සැරිසරන්නා' යනුවෙන් චූලානන්ද සමරනායක මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. The Alchemist කෘතිය, මෙතෙක් ලොව පුරා වැඩිම අලෙවියක් සහිත පොත් අතරට එක් වූ කෘතියක් වේ.

 

0 oGUMQVMVxjXCcS1B

 

පාවුලෝ කොයියෝ විසින් අලංකාරව නිමහම් කරන ලද සෑම කෘතියක් මගින්ම සාහිත්‍යමය වන්දනා ගමනක් සිතියම්ගත කරනු ලැබ ඇත්තේ ය. නිදහස (Freedom), ආත්මය (Soul), ප්‍රඥාව (Wisdom), භක්තිය (Faith), නිහතමානී බව (Humility), බලාපොරොත්තුව (Hope), සමාව දීම (Forgiveness), විමුක්තිය ලැබීම (Redemption), ධෛර්‍යය (Courage), ආදරය (Love), දැඩිව දරාගැනීම (Obsession), පෙළඹීම (Temptation) වැනි දෑ ඔහුගේ ලිවීම තුළ ඉස්මතු කිරීම හරහා, හොඳම පොත් මගින් කියවන්නා (පාඨකයා) සහ කියැවෙන දෙය අතර ගොඩනගන්නාවූ යම් 'පූජනීය ස්ථානයකට' ඔහු අපව ගමන් කරවයි. එය, 'හොඳ සාහිත්‍යයකට ජීවිතවලට බලපෑම් කිරීමේ බලය ඇත්තේ ය' යන්න සහතික කෙරෙන්නා වූ ගමනක්ද වේ.

 

Paulo Coelho departure themes thriller serial killer 2008

 

පාවුලෝ කොයියෝ විසින් රචිත 30ක් පමණ වූ කෘතීන් අතරින් වඩාත් ජනාදරයට පත්වූ පොත් කිහිපයක නම් පහත දැක්වේ. (සිංහලයට පරිවර්තනය වූ ඒවායේ එම සිංහල නම්ද යොදා ඇත) :-

The Pilgrimage (1987)

The Alchemist (1988) සන්තියාගෝ නම් සැරිසරන්නා

Brida (1990) බ්‍රීඩා

The Valkyries (1992)

Maktub (1994)

By the River Piedra I Sat Down and Wept (1994) පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි

The Fifth Mountain (1996)

Manual of the Warrior of the Light (1997) ආලෝකයේ රණකාමියාගේ අත්පොත

Veronika Decides to Die (1998) වෙරොනිකා මැරෙන්න තීරණේ කරයි

The Devil and Miss Prym (2000) යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය

Eleven Minutes (2003) මිනිත්තු එකොළහේ කතන්දරේ

The Zahir (2005) සහීර්

The Witch of Portobello (2006) මායාකාරි

Like the Flowing River (2006) ගලා යන නදිය සේ

The Winner Stands Alone (2008)

Aleph (2010)

Manuscript Found in Accra (2012) අක්‍රාවේ අත්පිටපත

Adultery (2012) අනාචාරය

The Spy (2016) ඔත්තුකාරි

Hippie (2018)

The Archer (2020) තෙත්සූයා නම් දුනුවායා

 

1947 අගෝස්තු 24 බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර උපත ලද පාවුලෝ ක්වෙල්යෝ මේ වනවිට 77 වියෙහි පසුවෙයි. 1980 දී ක්‍රිස්ටිනා ඔයිටිසිකා (Christina Oiticica) නම් චිත්‍ර ශිල්පිනිය සමඟ කොයියෝ විවාහ විය. කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනා වසරේ අඩක් බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි ද ඉතිරි අඩ ප්‍රංශයේ පිරනීස් කඳුකර ප්‍රදේශයේ ග්‍රාමීය නිවසකද ලෙස ගතකළ අතර, වර්තමානයේ දී ඔවුන් ජීවත්වන්නේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරයි. 

පාවුලෝ ක්වෙල්යෝ පිළිබඳ නිර්මාණය කර ඇති වටිනා වාර්තා වැඩසටහනක යූ ටියුබ් සබැඳිය පහත දැක්වේ.

 

 

[ඉහත ලිවීම සඳහා පාවුලෝ ක්වෙල්යෝගේ පොත්වල ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක පසුවදන්, පෙරවදන්, හැඳින්වීම් මෙන්ම විවිධ වෙබ් අඩවි සහ විකිපීඩියා විශ්වකෝෂය උපකාර කරගන්නා ලදි.]

සටහන -  සනිඳු නිලංග කරුණාරත්න

(මෙම සටහන 'Nilanga Karunarathne' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

shungara

Back to top
Go to bottom