-Aruna Gunarathna-
හැට හැත්තෑව දශකයන්ගේ දී දේශිය සිනමාවේ චින්තනය වෙනස් කරලීමෙහි ලා පුරොාගාමි වූ විශිෂ්ට සිනමා විචාරකයකු වූ පියසිරි නාගහවත්ත මහතා අද (21) සවස අවසන් ගමන් ගොසින්ය.
ඔහුගේ අභාවය සිදුව තිබුණේ ඊයේ වන අතර අවසන් කැමැත්තේ පරිද්දෙන් පැය විසි හතරක් ඇතුළත සියලු කටයුතු අවසන් කර තිබිණ. හැටේ දශකයේ මෙරට නාට්‍ය කලාව ඇතුළු ක්ෂත්‍ර රාශියක පිබිදීමක් ඇති කරමින් සුගතපාල ද සිල්වා ගේ ප්‍රමුඛත්වයෙන් ඇරඹි අපේ කට්ටිය කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු අතර පියසිරි ද විය. අපේ කට්ටිය කණ්ඩායමෙන් නාගහවත්තයන්ගේ අභාවයෙන් පසු ඉතිරිව සිටිනුයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පි මොටාගෙදර වනිගරත්න පමණකි.
1970 වසරේ දී පමණ ඔහු විසින් ලියා පළ කරන ලද 'සිනමා සටහන්' නම් ග්‍රන්ථය මෙරට යහපත් සිනමාවක් අපේක්ෂා කළ විශිෂ්ට විචාර ග්‍රන්ථයක් විය. එක දෙක සහ පනස් හත වාර්තා චීත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද්දේ ද පියසිරි නාගහවත්තය. ඔහු මෙරට සිනමා සම්මාන විනිශ්චය මණ්ඩල කිහිපයකම සාමාජිකත්වය ද ඉසිලුවේය. එමෙන්ම සිනමා ලිපි රාශියක්ම ඔහු විසින් රචනා කරන ලද්දේය.
මා ඔහු මුල්වරට හඳුනාගත්‌තේ ද 1995 වසරේ සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකුව ඔහු කටයුතු කරද්දීය. එකල සරසවිය කර්තෘධුරය දැරුවේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා විසින් වන අතර විනිශ්ඡ මණ්ඩල සම්බන්ධිකරණය මට පැවරිණ. මේ දැන හැදුනුම්කම මගේ දැනුම වර්ධනයට බෙහෙවින් උපකාරි වූ වග කෘතඥතා පූර්වකව පැවසිය යුතුය. මෙම හැඳුනුම්කම පැරණි ඥාති සබදතාවක්ද ඉස්මතු වන්නට හේතුවිය. අද මෙන් දුරකතන පහසුකම් නොමැති දවසක ඔහු මා සොයා අප නිවසට පැමිණ තිබිණ. ඒ් මොහොතේ මම ගෙදර නොසිටියෙමි. සිටියේ අපේ අම්මා ය. නිවසට පැමිණි ආගන්තුකයා අපේ අම්මා දෙස බලා මා ගැන විමසා 'ඔහේ අපේ පොඩි අක්කා වගේම යැයි " පවසා තීබණ. අපේ අම්මාට ඇගේ ඥාති සොහොයරු සොහොයුරියන් සියල්ලම පවසනුයේ පොඩි අක්කා යනුවෙනි. කෙසේ හෝ තම නම පවසා පැමිණි විත්තිය මට පවසන්නයැයි ඔහු අම්මාට පවසා තිබිණ. අම්මා ද නාගවත්ත නම ගැන විමසා තිබිණ. හේතුව අපේ අම්මාගේ මිත්තණිය කලහේ පතිරණ හා දීග යන තුරු ලුෂියානා නාගවත්ත නම් ව සිටි බැව් අම්මා දැන සිටි හේතුවෙන්ය. අපේ මී මිත්තණිය නාගහවත්ත ද ගාල්ලේ උක්වත්තේමය. පියසිරි නාගවත්ත ද එහිමය. පරම්පරාවකට එහා දීග මගුල් වලින් පසු පවුල් වල පිරිස ව්‍යාප්ත වන අන්දම නිසා එය පුදුමයක් නොවිණ. පසුව පවා අප නිවසට එන එතුමා කුඩා කල මගේ දියනියගේ චිත්‍ර ඇදිම බෙහෙවින් අගය කළේය. එකල දියනි ගයා ද ඇගේ සොහොයුරා ද තාත්තා සමග අප නිවසට එන්නේය. එකල ඔහු බොහෝ සිනමා දැක්ම සදහා පැමිණියේ ද දියනිය සමගය. පසුගිය කාලයේ ද ඇතැම්විටක දුරකතනයෙන් විමසා දුක සැප විමසීම හෙතෙම සිරිතක් කොට ගත්තේය.
අද ඔහු අවසන් ගමන් ගිය වග මා දැන සිටියේ නැත. පියසිරි නාගවත්තයන් සිනමා විචාරකයකු ලෙස කළ මෙහෙවර ගැන ඔහුගේ පුත් නීතිඥ සංජීව නාගහවත්ත ගෙන් දැන ගත් එයට සහභාගිව සිටි මගේ පාසැල් මිත්‍ර ජනාධිපති නීතිඥ චන්දන ලියනපටබැදි ඒ් මොහොතේම මගෙන් විමසා සිටියේය. ඒ් වන විට අවසන් කටයතු සිදු වී හමාරය. මට මගේ නෑයාගෙන් ද මා වැනි දුහුනන්ට දැනුම ලබාදුන් ජ්‍යේෂඨයාගෙන් ද සමුගැන්මට ඉඩක් තිබුණේ නැත. 1935 වසරේ මැයි මස 10 වැනි දින උපත ලද ඔහු අනූ වසරක් දිවි ගෙවා තීබණ. ඔහුට ඔහු පැතූ නිර්වාණය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.
සටහන - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අරුණ ගුණරත්න
(මෙම සටහන "Aruna Gunarathna" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)













