lan englan tam

සුරේඛා සමරසේනගේ "ඊස්ට්‍රජන්" (කෙටි කතා සංග්‍රහය) ගැන සටහනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Thilak Ranjith-

2025 වසරට විදර්ශන අත්පිටපත් තරගයෙන් කෙටිකතා අංශයෙන් ප්‍රශස්තතම කෙටිකතා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ 'ඊස්ට්‍රජන්' නමැති කෙටිකතා සංග්‍රහයයි.

ඒ කතුවරිය සුරේකා සමරසේනය. ඊස්ට්‍රජන් ඇගේ පස්වන සාහිත්‍ය නිර්මාණයයි. මීට පෙර නවකතාවක්, කෙටිකතාවක් හා කාව්‍ය සංග්‍රහ දෙකක් මෙරට සාහිත්‍ය ලොවට ප්‍රදානය කළ පළ පුරුදු සාහිත්‍යකාරියකි.

 

555618876 24874190188886344 8640673303591150595 n

 

කෙටිකතා හයක් ඇතුළත්ව ඇති මෙම කෙටිකතා සංග්‍රහය තුළ කෙටිකතා දෙකක් රචනාවන්හි ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි. අනෙක් කෙටි කතා හතර උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචනා වී ඇත.

 

වැලි සිමෙන්ති

මෙම කෙටිකතාව තුළ ගොඩනගන කාන්තා චරිතයට නමක් දී නැතත් ඉතා ක්‍රියාකාරී කතක් ලෙස කෙටි කතාව තුළ නිරූපණය වෙයි. සැමියා හා බිරිඳ අතර සෙනෙහස බැඳීම දිනෙන් දින, ටිකෙන් ටික ,බිඳී දෙදෙනා ඈත්වන ආකාරය කතුවරිය ඉතා සියුම්ව කෙටිකතාව තුළ නිරූපණය කරයි. එහෙත් මේ දීගය අවුරුදු දාහතරක් කෑ එකක් බව කතා නායිකාවගෙන් එක්විටක හෙළි වෙයි. මේ පවුලට දූවරු දෙදෙනෙකි. කතුවරිය ඒ දක්වා ඇති ආකාරය ඉතා විශිෂ්ටය. කතාව අවසානයේ ගෘහණිය තම මඟුල් පින්තූරය පොළොවේ ගසා බිඳ දමන අවස්ථාවේ දූවරු දෙදෙනා බිත්ති පින්තූරයේ සිට ඒ දෙස බලා සිටින බව ඇඟවීමෙන් කෙටිකාරියගේ පරිකල්පන ශක්තිය කැපී පෙනෙයි.

ඉවසන්ඩ පොඩිදුවේ ඉවසන්ඩ.....ඉවසන්ඩ පොඩිදුවේ ඉවසන්ඩ.... ඉවසන්ඩ පොඩි දුවේ ඉවසන්ඩ..."

"ඒත් වැලි සිමෙන්ති වාගේ. එයයි මායි එකාට එකා පෑහෙන්නෙම නෑ අම්මේ "

වැලි සිමෙන්ති (5 පිටුව)

 

තොරණක් ....

සැමියගෙන් තෘප්ත නොවන ගැහැනියක් අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගන්නා අයුරත්, එම සබඳතාවයේ තෘප්ති කර හා අතෘප්ති කර අවස්ථා කතුවරිය අපට ගෙන එන්නේ ඇගේ පරිකල්පන ශක්තිය, නිරූපණ ශක්තිය, කොතරම් ද යන්න විදහා දක්වමිනි. කතාවේ එන චරිත දෙක නාමකරණය කර නැතත් ඔවුනගේ හමුවීම් තොරණක මාලයෙන් මාලයට කතා පුවතක් විස්තර කරන අයුරින් ඔවුන්ගේ ලිංගික එක්වීම් කතුවරිය නිරූපණය කරන ආකාරය ප්‍රශස්තය. එය නව්‍ය ආකෘතියකි.

"ඒත් එදා 'හමුවීමකට 'මිසක් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නොගිය නිසා මගේ යට ඇදුම් උණත් එච්චර හොඳ උනේ නෑ. ඒත් එයා එදා මගේ ජීවිතයේ ලස්සන සිහිවටන දවසක් කලා. මං තාමත් ඇස් දෙක පියාගෙන ඒ දවස මතක් කරනවා."

තොරණ (10 පිටුව)

 

පොට්ටු ......

පැරණි ගොඩනැගිලිවල ඇති කැටයම් පිළිබඳ පර්යේෂණයක නියැලෙන අදහසින් මෙරට දකුණු පෙදෙසට පැමිණෙන විවාහක යුවතියක් වූ ශිල්පා නමැති පර්යේෂිකාව සිය සහායකයා සමග එක්වන ආකාරය කතුවරය ඉතා සියුම්ව පාඨකයා හමුවට ගෙන එයි. ඇය නිරන්තරයෙන් කන්නාඩිය හා සමග කතා කරමින් කරන හැසිරීම ඇගේ ස්වභාවය ක්‍රමානුකූලව වෙනස් වන ආකාරය. කතුවරිය අපට පෙන්වයි. එහිදී කණ්නාඩිය සජීවී වස්තුවකි. එය සාර්ථක රචනා උපක්‍රමයකි. කෙටි වදන්, වාක්‍යාංශ,

කෙටිකතාවට මනා ආලෝකයක් ලබාදෙයි.

ඔයා අවිනාශ්ව අත හරිනවද...." කන්නාඩිය ඇහුවා.

" නෑ.... මං මගේ සතුට හොයාගෙන යනවා. ශිල්පා කිව්වා.

පොට්ටු (33පිටුව)

 

අපි දෙන්නා .....

මෙම කෙටිකතාව තුළ ද සියලු චරිත කාන්තා චරිත වීම කැපී පෙනෙයි. තම වියපත් පුංචි අම්මා බලා ගැනීමේ යෙදෙන දුලාරි නැමති කාන්තාව ගැන මෙම කෙටි කතාවෙන් කියවෙයි. කතුවරිය වියපත් පුංචි අම්මා ජීවිතයට, ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය, පාඨක අපට ඉදිරිපත් කරන්නේ පුංචි අම්මා මානසික ඌණතාවයෙන් පෙළෙන අයුරක් නිරූපණය කරවමිනි. කෙටි කතාව අවසානයේ පුංචි අම්මා මෙන්ම දුලාරි ද මානසික ඌණතාවයකින් පෙලෙන අන්දම කතුවරිය පෙන්වයි. එය පාඨක සිතට නිරායාසයෙන් හාස්‍ය ජනනය කරන අවස්ථාවකි.

"ලොකු අයියා මැරුවේ බටලන්දේ වධකාගාරයේදී..... ඒ අපරාදේ සිද්ධ කළේ රනිල්..."

"ප්‍රභාකරන් මැරුවා..... රාජපක්ෂ දිනුවා...."

අපි දෙන්නා (39 පිටුව)

 

වංකගිරියක......

කතුවරිය මේ කෙටිකතාව තුළ අපට එක් වර කාන්තා චරිත හතරක් කැඳවාගෙන එයි. ඉන් තිදෙනෙක්ම ඉතා ක්‍රියාකාරීය. ප්‍රශ්න වලට මුහුණ දෙයි. ඉක්මන් තීරණ ගනියි. එහෙත් එක් චරිතයක් වසර දාහතරක් පමණ තීරණයක් නොගෙන බලා සිටියි. සැමියා තමන්ට කෙතරම් අකාරුණික වුවද ඔහු තම දියණියට දක්වන සෙනෙහස ගැන ඇය සිතයි. කතුවරියගේ අරමුණ මෙම කෙටිකතාව තුළ පරාජිත නිද්‍රාශීලී චරිත නිරූපණය කිරීම වුවද වංකගිරිය කෙටි කතා තුළ අපට හමුවන සියල් චරිත අපරාජිතය.

" මේ මිනිහා ළඟ කන්න නැතත් ,හුකන්න තියෙනවා." කියලා උදාරි හක හක ගාලා හිනා වුණා.

වංකගිරියක (46පිටුව)

 

කනදරාවෙ කාන්ති.....

සැමියා මළ පසු ජීවිතයට මුහුණ දෙන කාන්තාවක් ලෙස කාන්තිගේ චරිතය මෙහි නිරූපණය වී ඇත. මෙම කෙටිකතාව මෙම කෙටි කතා සංග්‍රහයේ ඇති දිගු කෙටිකතාවකි. තවමත් තුරුණු වියේ ඉන්නා කාන්ති තම සිතැඟි පාලනය කරගන්නා අන්දම කතුවරිය මනා ලෙස නිරූපණය කර ඇත. වෙනුවගේ සිත කෙමෙන් කෙමෙන් නැන්දා වෙත ඇදෙන අන්දම හා එය කුතුහලයෙන් යුතුව ගොඩනගන අන්දම විචිත්‍රය.

" එහෙම නෙවෙයි, කවදාවත් මාව දාලා යන්නේ නෑ කියන්ඩ..."

වෙනුර කිව්වා.

කනදරාවෙ කාන්ති (63පිටුව)

 

සමස්තයක් ලෙස ගැන බලන විට මෙම කෙටිකතා සංග්‍රහයේ කෙටිකතා පහක්ම ඉතා සංක්ෂිප්තය. ඒ සංක්ෂිප්ත බවම ඒ කෙටිකතා සාර්ථකත්වයට බලපා ඇත.

මෙරට කාන්තාවන් කෙතරම් කුටුම්භ ජීවිතය තුළ කෙතරම් ප්‍රශ්නකාරී ජීවිත ගත කරන්නේද යන්න කතුවරිය මෙහෙම කෙටිකතා හය තුළ මැනවින් නිරූපණය කර ඇත. ඇය එක් එක් කෙටිකතාවට ගොඩනගන රචනා ආකෘතිය ,ඇගේ භාෂා ශෛලිය මෙම කෙටිකතා තුළ කැපී පෙනෙයි. ඇය විටෙක අදීනය. අභීතය. කෙටිකතාවට ලොබ දින පාඨකයාට මෙම කෙටි කතා සංග්‍රහය ගෙන එන්නේ මනා මිහිරකි. කෙටිකතා හයක් තුළ කාන්තා චරිතම නිරූපණය කරවීම එක් අයුරකට විප්ලවයකි. අලුත් ගමනකි.

 

422905959 696757702483049 4388014288916644662 n

සටහන - තිලක් රංජිත් මද්දුමගේ

(මෙම සටහන "Thilak Ranjith" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom