ප්‍රවීණ සිනමා වේදී අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ ‘සඳ දඩයම’ චිත්‍රපය අද (04) යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සමාප්ති චිත්‍රපටය විදිහට ප්‍රදර්ශනය වන්නට නියමිතව තිබෙනවා.
මුල් වරට 1996 වර්ෂයේ නිර්මාණය වූ ‘සඳ දඩයම’(Moon Hunt) චිත්‍රපටය අවාසනාවන්ත විදිහට විවිධ තාක්ෂණික හේතූන් මත පුළුල් ප්‍රදර්ශනයට එක් උනේ නෑ.
ඒ නිසා පොදු ප්‍රේක්ෂකයාට මේ චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව අහිමි උනා.
කෙසේ වෙතත් ඉන් පසුව හඳගම විසින් නැවත වරක් මුල් චිත්‍රපටයේම නළු නිළියන් යොදා ගෙන එහි ප්‍රති නිර්මාණයක්(re make) සිදු කරන්න කටයුතු කරලා තියෙනවා.
ඉතින්, මේ ‘සඳ දඩයම’ චිත්‍රපටයේ අලුත්ම ප්‍රතිනිර්මාණය මේ වසරේදී ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නත් සූදානම් කියල සදහන් කරමින් හඳගම විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අපූරු සටහනක් එක් කරලා තිබුණා.
මතු දැක්වෙන්නේ එම සටහනයි.
(උපුටා ගැනීම)
"අද සඳ දඩයම චිත්‍රපටිය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල (Jaffna IFF) සමාප්ත කරන සිනමා පටය හැටියට යාපනයේ රීගල් සිනමා සංකීර්ණයේ තිරගත වෙනවා.
සඳ දඩයම මගේ දෙවෙනි ෆිල්ම් එක. ඒ වගේම දහතුන් වෙනි ෆිල්ම් එක. ෆිල්ම් දෙක අතර පරතරය අවුරුදු තිහක්.! දෙවෙනි ෆිල්ම් එකේ රඟපාපු නළු නිළියන් ම, ඒ කියන්නේ මහේන්ද්‍ර පෙරේරා, කෞශල්‍යා ප්‍රනාන්දු, රුක්මල් නිරෝෂ් අවුරුදු තිහකට පස්සේ දහතුන්වෙනි ෆිල්ම් එකෙත් රඟපානවා. ඒ අය එදාට වඩා අද අවුරුදු තිහකින් වයසයි. එහි ප්‍රධාන චරිතයක් රඟපාපු ඩබ්ලිව් . ජයසිරි අද අප අතර නැහැ. කාලය ගතවෙන්නේ එහෙමයි.
අපේ ජීවිත මේ කාල පරාසය තුළ වෙනස් වෙලා. අපි හිතන පතන විදිහ කාලය එක්ක වෙනස් වෙලා. එහෙම වෙනස් නොවුනු අයත් ඇති. ඒත් මට හිතෙන විදිහට මම නම් වෙනස් වෙලා. ඒ වෙනස් වීමට සමහරු කැමතියි. සමහරු අකමැතියි. අපි කැමති වුණත් අකමැති වුණත්
අප වෙනස් වෙනවා. ඒ වෙනස මේ චිත්‍රපටිය ඇතුලේ ඔබට පෙනෙයි. ඔබට දැනෙයි.
අවුරුදු තිහකට ඉස්සර කරපු ෆිල්ම් එක, ඒ නළුවන්ම යොදාගෙන ඒකටම අධ්‍යක්ෂණය කරන්න ලැබිච්ච තවත් අධ්‍යක්ෂක කෙනෙක් ලෝක සිනමාවේ ඉන්නවද කියලා මම නම් දන්නෙ නෑ. ඒත් ලංකාවේ නම් නෑ. ඒක මට ෂුවර්. ඒ නිසාම මේ ෆිල්ම් එකට මගේ සිනමාවලියේ සුවිශේෂී තැනක් හිමි වෙනවා.
සඳ දඩයම මුල්ම නිල පෝස්ටරය අද එළියට ආවා. මේක සැලසුම් කලේ සුමුදු අතුකෝරල, යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල වෙනුවෙන්.
සඳ සාක්කි දුන් ඉතිහාසයක කතාන්දරය.
සඳ දඩයම මේ අවුරුද්ද ඇතුලේ බලන්න සූදානම් වෙන්න."
( උපුටා ගැනීම අවසන්)












