ප්‍රවිණ ගායන ශිල්පී හා සංගීතවේදී රාජු බණ්ඩාර මහතා (65) ඊයේ (15) දිනයේ දිවි ගමනින් සමු ගත්තා.
‘මා ආදරෙයි මුළු ලොවටත් වඩා’, ‘ඔය රූ සෝබා’, ‘රන් සීනු නාද දී’, ‘හද වේදනාව’, ‘කවුදෝ මගේ ලොවේ’ සහ ‘රෝස මල් කුමාරි’ වැනි ඔහු මෙරට රසිකයා වෙනුවෙන් දායාද කළ ඒ සදාදරණීය ගීත එකතුව වගේම,
ඔහු රංගනයෙන් දායක වූ “දිය කැට පහණ” ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ ‘දීප්ති” නම් තරුණයාගේ චරිතයත් බොහෝ දෙනාගේ හදවතේ සටහන් වූ චරිතයක් බවට පත් උනා.
රාජු බණ්ඩාර මහතාගේ අභාවය සැල වීමත් සමග බොහෝ දෙනා සමාජ මාධ්‍යයේ ඔහුගේ ගීත ගැන වගේම සිය හදවතේ සටහන් වූ මේ චරිතය "දීප්ති" ගැනත් මතකය අවධි කරලා තිබුණා.
මේ චරිතය වෙනුවෙන් ඔහු එදා හොඳම නැගී එන නළුවා සම්මානයටද නිර්දේශ උනා.
“දිය කැට පහණ” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරු අශෝක හදගම විසින්.
මතු දැක්වෙන්නේ අශෝක හදගම විසින් මේ පිළිබඳව තබා තිබූ මතක සටහනක්.
(උපුටා ගැනීම)
"දීප්ති යන්නම ගිහින්. ලා පාට කමිසයක්, ඩෙනිමක් ඇඳගෙන ඈත වන්නි හත්පත්තුවේ ගමක පරිසරයට ලොල් බැඳි තරුණයා සදහටම ගිහින්.
සයිමන් නවගත්තෙගම යි අජිත් තිලකසේන යි තමයි ඒ දවස් වල මගේ සාහිත්‍යය වීරයෝ. ‘දීප්ති’ තමයි දාර්ශනික උත්තේජනය. මේ චරිත මගේ ඔලුව කොලොප්පංකරලයි තිබ්බේ. දීප්ති මගේ හිතේ මැවුනේ ඒ පසුබිමේ.
මේ චරිතය රඟපාන්න සුදුසු නළුවෙක් ගැන හිතාගන්න දහ අතේ කල්පනා කරමින් හිටියට ඒ දවස්වල පුංචි තිරයේ ජනප්‍රිය නළුවන් අතරින් කෙනෙක් ඔලුවට ආවේ නෑ. ඔහොම ඉන්නකොට තමයි දවසක් music recording එකක් ඉවර වෙලා ගෙදර යන ගමන් යාළුවො එක්ක ‘සෝඩා’ ටිකක් හොයාගෙන ඒ දවස්වල මං හිටපු කඩවත ගෙදරට රාජු ආවෙ.ඉතුරු පානීය වර්ග, අඩුම කුඩුම ඒගොල්ලො ගාව තිබ්බා.
කොන්ඩේ වවලා පෝනි ටේල් එකක් වගේ ගැට ගහලා. shirt එකේ බොත්තම් ඇරලා. ඒ දඟකාර රූපය ඇතුළේ දීප්ති මට මැවුණ. දීප්තිට ගැලපෙන රූපය මට හම්බවුණා.
‘මචන් character එකක් තියෙනවා, උඹ එනවද act කරන්න’
‘උඹට පිස්සුද බං. ගිටාර් ගැහුවට, අමාරුවෙන් සිංදු කිව්වට, මට act කරන්න බෑ.’
‘උඹ වරෙන් මං act කරවන්නම්’
එහෙමයි පටන් ගත්තෙ.
දීප්ති ගෙදර මැද සාලෙ තිබ්බ, රූප පෙට්ටියට ආවේ එහෙමයි.
වීක් එන්ඩ් එකේ ටෙලි නාට්‍යය විකාශය ඉවර වෙලා ඒ ගමන්ම ලක්හඬ රේඩියෝ වේ තිබුණු සංවාදය මෙහෙයවූයේ W ජයසිරි. සුචරිත ගම්ලත්, තිලක් ජයරත්න වගේ විද්වතුන් දවසකට එක්කෙනෙක් බැගින් සම්පත් දායකයින් හැටියට සම්බන්ධ උනා. කපිල ජයසිංහ, නුවන් ජූඩ් ලියනගේ නාලිකාවෙන් වැඩ සටහන මෙහෙයවන්න එක් වුණා. අසන්නන් ප්‍රශ්න ඇහුවා.
මේකේ එක දර්ශනයක් තියෙනවා ඒ දවසේ ප්‍රධාන චරිතය ආත්මකථනයක් (monologue) එකක් කරනවා. එහෙම එක scene එකක් ඉවර වෙන්නෙ, දීප්ති රූපරාමුවට පිටුපාලා චූ කරන දර්ශනයකින්. ඒක දැකලා කුපිත කුපිත වුනු රසිකයෙක් මේකෙ අධ්‍යක්ෂකගේ කටට චූ කරන්න ඕන කියලා ටෙලිෆෝන් කරලා කිව්වා. ටෙලි නාට්‍යය වගේම මේ වැඩසටහනක් ඒ කාලේ හරි ජනප්‍රියයි.
දීප්ති හින්දා පිස්සු හදාගත්ත තරුණයොත් හිටිය.
ඉතින් දීප්ති උඹට සුබ ගමන්."
(උපුටා ගැනීම අවසන්)
(මෙම සටහන 'Ashoka Handagama' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)












