මෙරට ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණකරුවන් දෙපළක් වන එරික් සහ මනී සිය යූ ටියුබ් (You Tube) නාලිකාව ඔස්සේ බිලියනකට අධික සමස්ත නැරඹුම් වාර (one billion total views on YouTube) ප්‍රමාණයක් වාර්තා කිරීමට සමත් වෙමින් සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව තිබෙනවා.
මෙය මෙරට සීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් නිර්මාණකරුවන්ගේ ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද හැදින් විය හැකියි.
ශ්‍රී ලාංකික තරුණියක් වන මනීශා (Manisha Heinrichs) සහ ඇමරිකානු තරුණයෙකු වන එරික් (Eric Heinrichs) යුවළ විසින් පවත්වාගෙන යන මෙම 'Eric and Mani’ යූ ටියුබ් නාළිකාව ආරම්භ කොට ඇත්තේ 2019 වර්ෂයේදීයි.
ඔවුන් විසින් මේ දක්වා වීඩියෝ 648 ක් ප්‍රකාශයට පත් කර ඇති ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවට වටා එක්ව සිටින ග්‍රාහකයින්ගේ (subscribers) සංඛ්‍යාව 874,000 ක් ලෙසයි දැක්වෙන්නේ.
භාෂාමය බාධාවකින් තොරව ඕනෑම සංස්කෘතියක ප්‍රේක්ෂකයෙකුට රසවිඳිය හැකි පරිදි එදිනෙදා ජීවිතයේ හාස්‍යජනක අවස්ථා කෙටි නිර්මාණ (Shorts) ලෙස ඉදිරිපත් කිරීම මොවුන්ගේ අන්තර්ගතයන්හි විශේෂත්වයයක් වන අතර, ප්‍රධාන වශයෙන්ම යුවළක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන මෙම නිර්මාණශීලී වීඩියෝ පෙළගැස්ම, දේශීය සීමාවන් ඉක්මවා ගිය ගෝලීය ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔවුන්ගේ මෙම සුවිශේෂි ජයග්‍රහණය තුළින් පිළිඹිඹු වන්නේ අඛණ්ඩව ඩිජිටල් මාධ්‍ය වේදිකාවලට අන්තර්ගතයන් (content) නිර්මාණය කිරීම පමණක් නොව, ශ්‍රී ලංකාවෙන් බිහිවන අව්‍යාජ, වඩාත් සමීප කතාන්දර කෙරෙහි ලෝක මට්ටමින් සිටින ප්‍රේක්ෂකයින්ගේ පවතින උනන්දුවයි.
වසර ගණනාවක් පුරා එරික් සහ මනී විසින් ඉදිරිපත් කළ නිර්මාණ ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සමස්ත නැරඹුම් සංඛයාව බිලියනයේ සීමාව පසුකර යාමට සමත් විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එරික් සහ මනීෂා පවසා සිටියේ මෙම සාර්ථකත්වයට හේතුව ලොව පුරා විසිරී සිටින ප්‍රේක්ෂකයින් තමන් වෙත ලබා දුන් නොසැලෙන ආදරය සහ සහයෝගය බවයි. දේශීය වශයෙන් ආරම්භ කළ මෙම නලිකාව ගෝලීය සාර්ථකත්වයක් දක්වා රැගෙන යාමට ප්‍රේක්ෂකයින් ඉටු කළ මෙහෙය ඔවුන් අගය කර සිටියා.

ඔවුන්ගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය ලාංකීය ඩිජිටල් නිර්මාණකරුවන්ට ජාත්‍යන්තරය දක්වා සිය බලපෑම ව්‍යාප්ත කළ හැකි ආකාරය පිළිබඳව මනා නිදසුනක් ලෙස ද සදහන් කළ හැකිය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින පසුබිමක, මෙවැනි සුවිශේෂී සන්ධිස්ථානයන් මගින් නිර්මාණකරුවන්ට අන්තර්ජාල වේදිකා ඔස්සේ ලෝකයට බලපෑමක් කිරීමට ඇති වර්ධනය වන අවස්ථාවන් හා හැකියාවන් පිළිබඳව ද මනාව පෙන්වා දෙනු ලබනවා.
මූලාශ්‍රය - Serendib news










