බුදු දහමට අපහාස කළේ යැයි කියමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (පෙබ.19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කනගාටුව පළකර සිටියේය.
මෙම කනගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේදී සිදුවිය හැකි අනීතිය ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමන්ව අනීතීක ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස කණගාටුව පළ කිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම පිළිබඳව දැනුම්දීමත් සිදු කෙරිණි.
ඉන් අනතුරුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය නියෝග කළේය.









