‘ගම්පෙරළිය’(1987), ‘රුපියල් සත’(1991), ‘දඩබිම’(1993),‘කඩවර’(1995), ඉසුරුගිර, රාජභවන, ‘අමරපුරය’(2008)..වැනි අපූර්ව ටෙලි නිර්මාණ රැසක් ලාංකීය ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ, බර්ට්‍රම් නිහාල්ගේ කුළුදුල් සිනමා නිර්මාණය ‘දරී’ (The Cave) ළඟදීම තිරගත වීමට නියමිතයි.
බර්ට්‍රම් නිහාල්
‘දරී’ සිනමාවට නැගෙන්නේ උපනන්ද වැලිකලගේ සම්මානනීය නවකතාවක් වන “කර්ම චාරිකාව” ඇසුරින් වන අතර, 1940- 50 පනහ දශකයන්හි අගභාගයේ සිට හැත්තෑව දශකයේ අග භාගය දක්වා මෙරට වියලි කලාපයේ ජනපද ගම්බිම් පසුබිම් කරගත් සත්‍ය කතා පුවතක් ඇසුරින් චිත්‍රපටයේ කතාව ගලා යනවා.
සෞම්‍ය ලියනගේ, ප්‍රියංකර රත්නායක, වීණා ජයකොඩි, චන්දිමා කරුණාදාස, රෝහණ පතිරත්න, හසරින්ද කේසර,සංජීවන් ගුණතිලක, චමින්ද බටුකොටුව, ශ්‍රියා කළුබෝවිල... ඇතුළු තවත් දක්ෂ නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, නුදුරේදීම අපේ කාලයේ මිනිසුන්ගේ ජීවිත සජ්ජායනාව “දරී” ප්‍රේක්ෂක දෑස් මානයට පැමිණෙනු ඇති.
මතු දැක්වෙන්නේ “දරී” පිළිබඳව බර්ට්‍රම් නිහාල් තබා තිබූ සටහනක්.
(උපුටා ගැනීම)
“දරී” නිර්මාණය වන්නේ උපනන්ද වැලිකලගේ “කර්ම චාරිකාව” සම්මානනීය නවකතාව ඇසුරෙන්.
නවකතාවක සිට චිත්‍රපටයක් බවට පරිවර්තනය කිරීම යනු රූප, සංගීත, කාලය සහ වාචිකභාවය මඟින් නව සන්නිවේදන භාෂාවක් නිර්මාණය කිරීමකි. නවකතාවක් සහ සිනමා නිර්මාණයක් අතර ඇති සම්බන්ධය සාමාන්‍යයෙන් අනුකරණය (adaptation) ලෙස සළකයි. නමුත් ඒ අනුකරණය සෘජුව නවකතාවේ අන්තර්ගතය පිටපත් කිරීමක් නොවී, එය නව මාධ්‍යයකට රූපවත් කිරීමක්, කලාත්මක පරිවර්තනයක්, නව ආකෘතිමය විලාසයක් ලෙස සිදු වේ. මෙහිදී මානව අභ්‍යන්තර මනෝ ලෝකය (Interior monologue) බොහෝ දුරට දෘශ්‍යමය ලෙස ප්‍රකාශිත වේ. මෙය නවකතාවේ ගැඹුර අඩු කරනවා නොවෙයි, නමුත් වෙනස් මාර්ගයකින් ඒ අරුත ගොඩනංවයි. නවකතාවේ නිදහස්, විචිත්‍ර කතාකීමේ විලාසය, චිත්‍රපටියේදී සෘජු, රූපක හා තීරණාත්මක ලෙස ගොඩනඟන නාට්‍යමය විභවයකින් යුතු ආඛ්‍යානයක් වෙයි.(Controlled Narrative Structure)
“දරී” යනු නවකතාවකින් උපන් නව සත්‍යයක් ලෙස හැඳින්විය හැක. එය නවකතාවේ වටිනාකම් සම්පූර්ණයෙන් රඳවා ගන්නා නමුත්, ඒවාට නව මාධ්‍යයක, නව භාෂාවක හැඩතලයක් ලබාදෙන නිර්මාණයක් බවට පත්වෙයි. මෙහිදී සෘජු අනුකරණය නොව, නිදහස් විචාරයකින් හා ශිල්පී භාවයෙන් සම්පූර්ණයෙන්ම නව සාකච්ඡාවක් ආරම්භ කරීමට මඟ පාදයි. “දරී” යනු මානව තේරීම්වල අධ්‍යාත්මික හා මනෝවිද්‍යාත්මක ප්‍රතිවිපාක ගැඹුරින් විමසා බලන දාර්ශනික නවකතාවක් වන “කර්ම චාරික” ආශ්‍රයෙන් ආභාෂය ලැබූ සිනමාත්මක අනුවර්තනයක් වීම නිසාම, මෙම චිත්‍රපටය අනුවර්තනයේ සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා ගොස් නව සිනමානුරූපී අර්ථකථනයක් බවට පත්කරලීම වෙහෙසකර විය.- දිනෙක සාහිත්‍යය සහ සිනමාව අතර විකල්ප සංවාදයක් තවදුරටත් මේ මගින් හැඩගස්වාගත හැකිවනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.”
(උපුටා ගැනීම අවසන්)












