ලෝකප්‍රකට හොලිවුඩ් ක්‍රියාදාම නළුවෙකු, සටන් කලා ශූරයෙකු වූ චක් නොරිස් (Chuck Norris) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 86 වන වියේ පසුවිය.
රංගනයට පිවිසීමට පෙර ඔහු ඇමරිකානු ගුවන් හමුදාවේ ද සේවය කළ අයෙකු වන අතර, විවිධ සටන් කලා ගණනාවක් හැදෑරූ සටන් කලා ශූරයෙකු සහ සටන් කලා ගූරුවරයෙකු ලෙසද නමක් දිනා ගත් අයෙකු විය.
1972 වසරේදී "Way of the Dragon" චිත්‍රපටයේ බෲස් ලී හා චක් නොරිස් අතර සටන් ජවනිකාව අන්තර්ජාතික තලයේද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ නංවන්නට සමත් වූ අවස්ථාවක් විය.
චක් නොරිස් "Way of the Dragon" 1972 චිත්‍රපටයේ දර්ශනයක රූපරාමුවක්
1970 දශකයේ අගභාගයේ සහ 80 දශකයේ දී නොරිස් ඉතා කාර්යබහුල වූ අතර, “The Delta Force”, “Missing in Action”, “Good Guys Wear Black” (1978), “The Octagon” (1980), “Lone Wolf McQuade” (1983), “Code of Silence” (1985) “Firewalker” (1986) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළේය.

වසර හතක විරාමයකින් පසු 2012 දී සිල්වෙස්ටර් ස්ටැලෝන් අධ්‍යක්ෂණය කළ “The Expendables 2” චිත්‍රපටය සඳහා නොරිස් තවත් ක්‍රියාදාම තරු රැසක් සමඟ එක් විය.
ඔහුගේ සිනමා ජීවිතය ක්‍රමයෙන් අඩුවෙද්දී, ඔහු රූපවාහිනිය දෙසට යොමු වූ අතර, "Walker, Texas Ranger" මාලා නාට්‍යය හරහා විශාල ජනප්‍රියත්වයක් ලැබීය. එය 1993 සිට 2001 දක්වා විකාශය විය.

සිය අවසන් කාලයේදී චක් නොරිස් සම්බන්ධ විවිධ හාස්‍යජනක "Memes" අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ විය.ඔහුගේ පරාජය කළ නොහැකි ස්වරූපය සහ ශක්තිය පාදක කරගනිමින් නිර්මාණය වූ "Chuck Norris Facts" නැමති විහිළු තහළු (Memes) අන්තර්ජාලය තුළ වසර ගණනාවක් පුරා අතිශය ජනප්‍රිය විය.









