ෂාල් බෝද්ලෙයා වනාහී යුරෝපාකරයට අතිමහත් ලෙස බලපෑ පුරෝගාමී නූතනවාදී කාව්‍යක්කාරයා ය.
ලේඛන ශෛලියෙන් මෙන්ම අන්තර්ගතයෙන් මෙන්ම අඩංගුවෙන් ඔහු ඒ බව සලකුණු කර ඇත. ඔහුගේ ‘මත්වැ යා යුතු’ ගද්‍ය කවිය ගැන අප කලින් කලාපයක කතා කළ ද ඔහුගේ ජීවිතය සහ භාවිතය ගැන තවමත් කතා කළේ නැත. මේ ලියවිල්ල ඊට ප්රවේශයකි.
ෂාල්-පියේර් බෝද්ලෙයා (Charles-Pierre Baudelaire) උපන්නේ මෙයින් හරියටම වසර දෙසිය පහකට කලිනි. එනම් 1821 අප්‍රේල් 9වැනි දා ය. ඒ් හරියට ම නැපොලෙඔන් බොනපාත් මිය ගියා දා ය.
වෘත්තීයෛන් ගුරුවරයකුව හිඳ පසුව, රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කරන ලද ජොසෙෆ්-ෆොන්සුවා බොද්ලෙයාට සහ ඔහුගේ අලුත ගෙනා තරුණ බිරිඳ වූ කැරොලින් දොෆයීට (Caroline Defayis) දාව පැරිසියේ උපන් මේ ෆ්‍රන්සක්කාර කවියා ඔරිජිනල්ම පැරිසිවරයකු විය.

ෂාල් සය හැවිරිදි වියේදී තාත්තා අහිමි වන අතර ඔහුගේ අම්මාගේ මීළඟ වල්ලභයා වුයේ ද අධිරාජ්‍යවාදී හමුදාවේ උද්යෝගීමත් සටන්කරුවකු ලෙස විශාල චරිතයක් රඟදැක්වූ, පසුකාලීනව කොන්ස්තන්තිනෝපෝලයේ, ලන්ඩනයේ සහ මැද්රීදයේ ෆ්‍රන්ස නිල නියෝජිත ඇම්බෙසදර්වරයා ලෙස පත්කරනු ලැබූ ජනරාල් ෂාක් ඔපික් (Jacques Aupick) ය. ෂාල්ගේ අධ්‍යාපනයට හෙතෙම උදව් කළ අතර ෂාල් ලියොන් නගරයේ මුලින්ද, පසුව පැරිස් නගරයේ ද උසස් අධ්‍යපාන කටයුතුවල නිරත විය. මේ මහා කවියා කවි ලියන්නට පටන් ගත්තේ ඉස්කෝල සමයේදී ම ය. ඔහු ලියූ දෑ දුටු ඔහුට ඉගැන්වූ ගුරුවරුන්ට අනුව ෂාල් යනු පාපී සිතිවිලි ගහණ අකලට පැහුණු උඩඟු ළමයෙකි. ඔහු පසුකාලීනව කී ලෙස මෙකී වකවානුවේ ඔහුට දැනෙමින් තිබුණේ තමන්ගේ වේදිතයන් අතිශය තීව්රලෙස මොලොන්කොලිකභාවය වෙත නැඹුරුවෙමින් පැවති බවත් තමා වේගයෙන් බාහිර සමාජ පැවැත්ම තුළ දරුණු හුදෙකලාවකට ඇද වැටෙමින් පැවැති බවත් ය.
අධ්‍යාපනයෙහි අවසන් සමයෙහි ඔහු නාමමාත්රික නීති ශිෂ්‍යයකු වූ අතර ගෙදර සම්බන්දකම් වලින් මිදුණු නිදහස් ජීවිතයක් වෙත එළැඹෙන්ට තීන්දු කළේ ය. මේ නිෂ්චිත වකාවානුවේදී ම ඔහු පැරීසි අභිසරුලියක වූ සාරා ලා ලුෂෙත් (Sarah la Louchette) සමඟ ප්‍රේමාලිංගන සපිරි උනුසුම් ජීවිතයකට අවතීර්ණ වූ අතර ජීවිතයේ පස්වැනි දශකය සම්පූර්ණ කරන්නට ද පෙරම ජීවිතය හැර යන්නට පවා සිදුවූ සමාජ රෝගයන්ට ඔහු ගොදුරු වූයේ ද මෙම සර්ව නිදහස් ජීවන භාවිතය නිසාම ය. කෙසේවතුදු ඔහුගේ මුලිකාලීන කවි අතර වන අතිශය ප්‍රකට සානුකම්පිත කවි සාරා වෙනුවෙන් ලියැවිණ.
ෂාල් ඇබ්බැහිවෙමින් සිටි සංකීර්ණ ජීවිතයෙන් ඔහු මුදවාලන්නට සිතූ බාප්පා ෂාක් ඕපික් ඔහු සතුව තිබූ සමාජ බලය උපයෝගී කරගනිමින් නව යොවුන් කවියා ව ඉන්දියාවට යවන්නට තීරණය කළේ ය. 1841 ජූනි මාසයයි. මෙකී පිටුවහල් ගමනේ දී මුරුසි දිවයිනේදී නැවෙන් පැනගත් අප මහා කවියා යළි 1842 පෙබරවාරියේ සිය නිජ බිම වන පැරීසියට සේන්දු විය. මෙකී පුනරාගමනයෙන් පසු පොතපත, චිත්‍ර මූර්ති ඇසුරේ මෙන්ම දිව ලඳුන්, දිව බොජුන්, නානා මුද්‍රික පාන මතු නොව හෂීස් ද ඉන් නොනැවතී ඕපියුම් දක්වා ද බුක්ති විඳිමින් නූතනවාදී ලෞකික ජීවිතයකට ඇබ්බැහි විය. ඒත්
ඉන්දියාවට නොගොසින් යළි පැරිසියාට ආ විගස ම බෝද්ලෙයා තුළ බරපතළ ලෙස පහළ වූ බරපතළ කවියකු විය යුතුය යන බරපතළ හැඟීම ඔහු අඛන්ඩව නඩත්තු කළේ ය.

ඔහුගේ මහා කාව්‍යය මැදිහත්වීම ලෙස සැළකෙන ‘Les Fleurs du mal - ලෙ ෆ්ල දු මල්’ කෘතිය පළ කෙරෙන 1857 දක්වා කාලය තුළ ඔහු ගත කළේ කවියෙහි ම මත්වෙමිනි. 19වැනි සියවසේ වඩාත්ම බලපෑම් සහගත යුරෝපීය කවි සමුච්චය ලෙස අවවාදිතව අඛන්ඩව තවදුරටත් වරනැඟෙන, එ මෙන් ම, සමස්ථ යුරෝපීය මෙන්ම ලෝක ව්‍යාප්ත නූතනවාදී කවියට මෙන්ම පසුකාලීන අතිමහත් කවීනට නිර්මාණ ආවේශයක් වූ මෙම කෘතිය ගැන ඉදිරි කලාපයකදී සැකෙවින් කතා කරන්නට පිළිවන.
‘ලෙ ෆ්ල දු මල්’ පැමිණෙන්නට පෙර 1845දී “Les Lesbiennes - ලෙ ලෙස්බියෙන්” (ලෙස්බියානියන්) සහ “Les Limbes - ලෙ ලම්බ්” (ලිම්බෝව) නම් බරපතළ නිර්මාණ පළකරමින් තමන්ගේ කාව්‍ය වපසරිය තහවුරු කර ගත්තේ ය. එසේම ‘ෆ්ල දු මල්’ නම් අසමසම කෘතියෙන් ඉක්බිති ගද්‍යමය කාව්‍යය, වෙත වැඩි බරක් තැබූ බොද්ලෙයා ඒ් වෙනුවෙන් බරපතළ ශ්‍රමයක් දැරී ය.

බෝද්ලෙයාගේ කාව්‍ය ප්‍රබන්ද කුපිතකරවනසුළු ය; පාරවනසුළු ය; පොළඹවනසුළු ය. දරාගනු නොහොන ආත්මීයත්වයක ගිලී ඇත. ඒවා සාකල්‍යයෙන්ම තථ්‍යතාව මතම රැඳුණු මූලකෘතික පබැඳුම් වේ. කොටින්ම යථාභූත ය; අතිශය අව්‍යාජ ය; ඔතෙන්ටික ය.
ඔහු පෙරටුව තබාගෙන පැමිණි පසුකාලීන කවීන්ගේ කාව්‍ය විශ්වය සහ පරිකල්පනය පුළුල් කරන්නට ඔහු මහත් සේ ඉවහල් විය. ඔහුගේ ආභාෂය හෙවත් බලපෑම ෆ්රන්සය මතු නොව සමස්ථ ලෝක කාව්‍ය ව්‍යාපාරය කරාම විහිදී පැතිරුණකි. අනුකාරකයකුට හෝ තමන්ගේම කියා ශෛලියක් හෝ අනන්‍යතාවක් නැත්තෙකු සිය භාවිතය මොන තරම් අතිරමනීය ලෙස කාව්යමයත්ව පවත්වා ගන්නට වෙර දැරුවද, ඔහුට මහා කවියකු විය නොහැකි ය. මහා කවියකු වන්නට නම් කවරාකාර හෝ වේවා, මහා ජීවිතයක් ගත කළ යුතු ය.
බෝද්ලෙයාගේ කෘති සහ නිර්මාණ විසින් සංකේතවාදී කාව්‍ය ව්‍යාපාරයට මෙන්ම වෙනත් සෞන්දර්ය ව්‍යාපාරයන්ට මඟපෙන්වනු ලැබිණ. විශේෂයෙන්, අධිතාත්විකවාදය හෙවත් අධියථාර්ථවාදය ලෙස නම් කෙරුණු සෞන්දර්යය ව්‍යාපාරය පුරා හොල්මං කරමින් පැවතියේද බෝද්ලෙයාගේ ආත්මතාවයි.

කලාවේ ස්වායත්තතාව හෙවත් ස්වාධිකාරය, නො එසේ නම් කලාවේ ස්වාධීනත්වය යනු බෝද්ලෙයා විසින් විසින් යෝජනා කෙරුණු නූතනවාදී ප්රවේශයේ දිශානතිය විය. කවි පමණක් නොව නූතනවාදය පිළිබඳ ඔහුගේ අදහස් අතිශය තීව්ර ඒ්වා විය. ඔහු කාව්‍ය ව්‍යාපාරය හරහා යෝජනා කළේ කලාකරුවකුගේ පරාරෝපණය මෙන්ම, මානව පැවැත්මේ අතාර්කිකත්වය, කාව්‍යමයත්වයේ බුද්ධිවාදය වැනි ගතිකයන් ය. එ මෙන් ම බෝද්ලෙයා සුන්දරත්වය පිළිබඳ එතෙක් තිබූ ඇදැහිල්ලේ සීමා පුපුරුවා හැරියේ ය. එ මෙන් ම අතිශය සෘජු ප්රවේශයකින් ලිංගිකත්ව පිළිබඳ වූ නූතනවාදී සෞන්දර්යයන්ගේ කේන්ද්‍රිය ධාරණාවන් ඔහුගේ කවියෙහි අන්තර්ගත විය.
ඇමරිකාව වැනි කාව්යක්කරණයේ සක්‍රීය කවි කිවිඳියන් සිටි භූමිකාලාපයන් හරහා නූතනවාදයේ මූලිකාංග පද්ධතීන් කවරාකාරදැයි ස්ථාපිත විනැයි තර්ක කළ හැකි වුව ද, බෝද්ලෙයා තමන් අබියස ඒ් තාක් පැවති කාව්‍යක්කරණ මූලංධර්ම, මූලිකාංග, මනෝරාටාව නොහොත් පරිපාටීන් සුරැකි සියලුම අනු කාව්‍ය ප්‍රවර්ග අභියෝගයට ලක්කළේ ය. ස්වකීය මනෝභාවයන්ට සමාන්තර වන සේ ස්වකීය කාව්‍යමය පඨිතයේ රිද්මය රඳවා ගැනීම හෙවත් විරිත, වෘත්ත, ඡන්දස ඈ වූ මාත්‍රා රටා කේන්ද්‍රීය කාව්‍ය සුලක්ෂණ, තමන්ගේ අභිවෘද්ධිය අනුව පවත්වා ගැනීමේ අනුලංඝනීය අයිතිය නූතනවාදී කාව්‍ය ව්‍යාපාරය තමන් සතු කරදීමට බෝද්ලෙයා ජීවිත භාවිතයෙන්ම කැප විය. ඒ් අපිරිමිත පරිකල්පන ලෝකයක් වෙත සහෘදයා කැඳවාගන්නට සමත් වූ අතිවිශාල කාව්‍යමය ශ්‍රමයක් ඔස්සේ ය.
ඔහුගේ ජීවන චර්යා පද්තිය මෙන්ම කලාව පිළිබඳව වූ අදහස් පද්ධතිය ද අතිශයනි බරපතළ වන්නා සේම විචිත්‍ර ය. ඔහු නිර්මාණකරුවකු වන්නා සේ ම බරපතළ විචාරයකු වන්නේ විය.
‘’අනර්ථය, මලක් වගේ මෘදු වේශයකින් වුණත් එන්න පුළුවන්’’ ඔහු කීවේ ය. ඒ් සුන්දරත්වය සතු උත්ප්රාස සම්ප්‍රයුක්ත ගැඹුර ගැන ය. සමස්ථයක් ලෙස කලාව ගැන ඔහු ලෙන හැර පාන්නේ ද තැත්ගැන්වෙනසුළු ප්‍රවාදයකි. ඔහු මෙසේ පවසයි.
‘’කලා කෘතිය, අතික්ශය සූක්ෂම ලෙස සැළසුම් කළ අපරාධයක් බඳු විය යතු යි’’
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.











