ඕනෑම කලා නිර්මාණයක ප්‍රබලම චරිතය එහි අධ්‍යක්ෂවරයාය. සහය අධ්යක්ෂවරයාද ඊට නොදෙවැනි භූමිකාවක නිරත වන්නේය. නිර්මාණයේ වැඩිම වගකීම දරන්නේ ඔහු ය. අධ්යක්ෂවරයා ඇතුළු කණ්ඩායම සම්බන්ධීකරණය කරමින් අවැසි දේ ලබාදෙමින් අදාළ කාර්යයන්හි පිහිටුවීමේ කාර්යය සිදුකරන්නේ ද සහය අධ්‍යක්ෂවරයාය. සහය අධ්යක්ෂ භූමිකාව නිර්මාණයක කේන්ද්‍රය බව බොහෝදෙනා නොදන්නා කරුණකි. අධ්යක්ෂවරයාගේ භූමිකාවට සමීපතම පුද්ගලයා ද ඔහුය.
එබැවින් සහය අධ්යක්ෂවරයාද නිතැතින්ම අගැයීමට ලක්විය යුතු චරිතයක් බව නොකියාම බැරිය. අද සහය අධ්‍යක්ෂණයේ අත්දැකීම් හෙට අධ්යක්ෂවරයාගේ පන්නරය බව අප හොඳින්ම දන්නා කරුණකි. අද අප හඳුන්වා දෙන්නේ ද එවන් වූ ප්‍රබල භූමිකාවකි.
වසර හතළිහක් තුළ චිත්‍රපට 65කට සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා ඇති ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්තය.
තම මවගේ දැනහැඳුනුම්කම මත හඳුනාගත් ප්‍රවීණ මාධ්‍යවේදී චිත්‍රපට අධ්යක්ෂ ධර්මසිරි ගමගේ සූරීන්ගේ ‘යස ඉසුරු’ සිනමාපටයේ සහය කාර්මික ශිල්පියකු ලෙස සිනමාවට සම්බන්ධ වුණු ඩොනල්ඩ් ජයන්ත 1986දී නිපදවුණු ධර්මසිරි ගමගේගේ පූජා චිත්‍රපටයේ අයි. එන්. හේවාවසම් යටතේ දෙවැනි සහාය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් අධ්යක්ෂ භූමිකාවේ සෙවණැල්ල ලැබුවේය. එහිදී හමුවු හෙළයේ මහා නළු ගාමිණී ෆොන්සේකා දුන් ඔවදන අදට ද පාඩමක් කරගෙන සිටින ඩොනල්ඩ් අප හා පැවසුවේ මෙවන් කතාවකි.
“1980දී මම මුලින්ම කොළඹට එන්නේ අම්මගේ මඟපෙන්වීම ඔස්සේ හඳුනාගත් ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ සූරීන් ළඟට. ඒ වෙද්දි ඔහු යොවුන් ජනතා පුවත්පතේ කර්තෘ වගේම පහන් වැට කියන සඟරාවත් කළා. මුලින්ම මම ඒවට සම්බන්ධ වෙලා කටයුතු කළා.

මගේ සිනමා උන්මාදය ගැන දැනගත්තට පස්සේ ඔහු මාව ඔහුගේ සිනමා නිර්මාණවලට සම්බන්ධ කරගත්තා. මුලින්ම මං ඔහුගේ ‘යස ඉසුරු’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ සහය කාර්මික ශිල්පියෙක් විදිහට. එතනදි තමයි මං විජය – මාලිනී දෙපළ පළමුවරට ඇස් දෙකෙන් දැක්කේ. මගේ ලොකුම ආසාව තිබුණේ හෙළයේ මහා නළු ගාමිණී ෆොන්සේකා කියන මගේ ලෝකයේ වීරයාව දැකගන්න. මට ඒ අවස්ථාව ලැබෙන්නේ ධර්මසිරි ගමගේ සූරීන්ගේ ‘පූජා’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ දා. එහි දෙවැනි සහය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එදා පළමු වතාවට මගේ වීරයා එක්ක කතාකරන්නත් අවස්ථාව ලැබුණා. ඔහු මගෙන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියල ඇහුවහම මං කිව්වේ සිනමාවට සම්බන්ධ වෙලා සහය අධ්යක්ෂවරයෙක් වෙන්න කියලා. ඔහු එදා මට දුන්න උපදේශය වුණේ මේ ගමන යන්න නම් බුද්ධිය, කැපවීම සහ ඉවසීම තියාගත යුතුයි කියන එක.
මගේ වීරයා දුන් ඒ ඔවදන මට ලොකු හයියක් වුණා. සහය අධ්යක්ෂවරයකු ලෙස මං මුලින්ම සම්බන්ධ වෙන්නේ ප්‍රියන්ත කොළඹගේ ගේ දැහැන චිත්‍රපටයට. මේ වෙද්දි මගේ මේ ගමනට වසර හතළිහක්. මේ වෙද්දි මං චිත්‍රපට 65ක සහය අධ්යක්ෂ විදිහට කටයුතු කරල තියෙනවා. එය ශ්‍රී ලංකා වාර්තාවක්. ඒ අතරින් දැහැන, මහමෙර උසට, පාර්ලිමන්ට් ජෝක්ස්, ආසයි මං පියාඹන්න, ආදරණීය කතාවක්, ප්රභාකරන්, අංජලිකා, රෂ්, වන් ෂොට් වන්, සුවඳ දැනුණා ජීවිතේ, දේදුනු ආකාසේ කියන්නේ ජනප්‍රිය වුණු කිහිපයක්. චිත්‍රපට 100ක සහය අධ්යක්ෂවරයා වීමෙන් ලෝක වාර්තාවක් තැබීම තමයි මගේ මීළඟ ඉලක්කය.
මේ වනවිට ඔහු චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙස ද සිනමාවට දායකත්වය සපයා තිබීම විශේෂත්වයකි.
කවදාහරි චිත්‍රපට 50ක සහය අධ්යක්ෂ විදිහට කටයුතු කළාට පස්සේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන ඉලක්කය මට තිබුණා. සහය අධ්යක්ෂවරයෙක් විදිහට කටයුතු කරලා අවුරුදු තිහකට පස්සේ තමයි මං අධ්යක්ෂණයට සම්බන්ධ වෙන්නේ. ‘ප්‍රවේගය සහ මායා’ කියන චිත්‍රපට දෙක මේ වෙද්දි මං අධ්‍යක්ෂණය කරල තියෙනවා. ඒ වගේම සිහිනයකි ආදරේ චිත්‍රපටයේ සම අධ්යක්ෂවරයා විදිහටත් කටයුතු කරලා තියෙනවා.
ඇත්තටම මට සතුටු වෙන්න පුළුවන්. 70 දශකයේ මං ආදරය කළ ගාමිණී, මාලිනී, විජය, කලංසූරිය, රවීන්ද්‍ර, ගීතා, සිරිල් වික්‍රමගේ, ජෝ අබේවික්‍රම,ටෝනි, සොමී,අනෝජා, ශ්‍රියාණි, වීණා, අයිරාංගණී, ජීවරාණි, අනුලා, සුවිනීතා වැනි ප්‍රවීණයන් එක්ක වගේම 80 දශකයේ සිට මේ වන තෙක් ජැක්සන්, සනත්, රොෂාන්, රංජන, සබීතා, කමල්,ජීවන්, මහේන්ද්‍ර, සංගීතා, ශ්‍රියන්ත, හේමාල්, පුබුදු, උද්දික, උදාරි, චුලක්ෂි, ටීනා වගේම දමිත් විජේතුංග වැනි නව පරපුරේ ශීල්පීන් එක්කත් වැඩ කරල තියෙනවා. ඒ වගේම මං සහය අධ්‍යක්ෂණයෙන් දායක වුණු සූරිය සුළඟ, මේඝ වර්ෂා, සාජන් පුංචිසෝම, සිහින අභිෂේක, ආදර හීනය, හාමිනී වැනි චිත්‍රපට තිරගත වීමට නියමිතව තියෙනවා.
චිත්‍රපට 100කට දායක වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට බලාපොරොත්තුවෙන් සිටින ඩොනල්ඩ් මෙතෙක් ආ ගමනට සහය වූවන්ද ගෞරවයෙන් සිහිපත් කළේය.
ධර්මසිරි ගමගේ කියන අසහාය මිනිසා මං මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔහු නැත්නම් ඩොනල්ඩ් ජයන්ත කියලා කෙනෙක් කලාවේ නොහිටින්න තිබුණා. ඒ වගේම සහය අධ්‍යක්ෂණය සඳහා මාව පුරුදු පුහුණු කළ අයි. එන් හේවාවසම්, ඇන්ටන් ග්‍රෙගරි කියන ප්රවීණයන්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මට උදවු උපකාර කළ සියලුම අධ්යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් මේ ගෞරවය හිමිවිය යුතුයි. මේ ගමනට සහය වෙමින් මට නිරතුරුවම සෙවණැල්ලක් වුණු ප්‍රිය බිරිඳ මංගලිකා නාගොඩ විතාන සහ දියණියන් දෙදෙනා වන නිමේෂා නෙත්මිණී සහ උමේෂා උදේශානිවත් මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා.
rasanduna









