මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ඇති දොරකඩ දෙවොල ටෙලි නාට්‍යයේ ප්‍රියන්ති ටීචර් මෙන්ම ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ දිලීෂියා මිස්ගේ චරිතයට පණ පොවන ඇය ගැන ඔබට අමතක නැතුව ඇති. ඇය නමින් උවින්දි සේනාධීරය. මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්වී සිටින උවින්දි අද අප හා කතාබහට එක්වූවාය.
කොහොමද උවින්දි මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල දොරකඩ දෙවොල ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක තරමක් කාර්යබහුලයි. දොරකඩ දෙවොල ටෙලි නාට්‍යයේ අවසාන අදියරේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒ වගේම මේ දවස්වල මගේම සිනමා නිර්මාණයකට තිර පිටපතක් ලියමින් ඉන්නවා.

ඔබ කොහොමද කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ?
මම ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ අවුරුදු 13දී. මගේ පළමුවැනි ටෙලි නිර්මාණය බ්‍රහ්ම මූහුර්තය. එහි අතුරු චරිතයකට මට ආරාධනා කරන්නේ එහි අධ්යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහගෙන්. ඒ විදිහට තමයි ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ.
මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා තිබෙන ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයේ ‘ප්‍රියන්ති ටීචර්’ට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
දොරකඩ දෙවොලට ආරාධනා ලැබෙන්නෙත් ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂවරයාගෙන්මයි. රෝහිත සර් කිව්වා ‘ගැමි ටීචර් කෙනෙක්ගේ චරිතයක් තියෙනවා කියලා.’ මීට කලිනුත් මං රෝහිත සර්ගේ වැඩ කිහිපයකටම සම්බන්ධ වෙලා තිබුණු නිසා ප්‍රියන්ති ටීචර්ගේ චරිතයට මං කැමති වුණා. දොරකඩ දෙවොලට සම්බන්ධ වෙන්නෙ ඒ විදිහට.
කොහොමද ප්‍රියන්ති ටීචර්ට ලැබෙන ප්‍රතිචාර?
ඉතාමත් හොඳ ඉහළම ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රියන්ති ටීචර් හරහා මම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. මඟදි හමුවෙන අය ” ආ.. ප්‍රියන්ති ටීචර් නේද මේ.. ඔයා හරිම ලස්සනට රඟපානවා…” කියලා කියනවා. ඒ වගේම සෝෂල් මීඩියා හරහා වුණත් ගොඩක් පොසිටිව් කමෙන්ට්ස් ලැබෙනවා. ප්‍රියන්ති ටීචර්ගේ චරිතයට මම උපරිම සාධාරණයක් කළා කියල හිතනවා.
ප්‍රවීණ නළු නිළියන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?
ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන දමයන්ති ෆොන්සේකා ඇන්ටිව. මට පොඩි කාලෙ ඉඳලම රංගන කුසලතා දියුණු කරගන්න මඟ පෙන්වීම් කළේ ඇය. ඒවගේම චමීර ලියනගේ අයියා, උමා අසේනි අක්කා, බුද්ධික මංගල අයියා, ලලිත් සර් සහ දුමී අක්කාගෙන් ලොකු සහයෝගයක් සහ මඟ පෙන්වීමක් ලැබුණා. මට ගොඩක් රඟපාන්න ලැබුණේ දුමී අක්කා එක්ක නිසා දුමී අක්කාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඇත්තටම ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඔබ අභියෝගාත්මක චරිත නිරූපණයන් ලැබෙනවට කැමතිද?
ඇත්තටම මම කැමතියි මට කරන්න බෑ කියලා හිතන තරමේ අභියෝගාත්මක චරිතවලට සහ වෙනස් චරිත නිරූපණයන්වලට ආරාධනා ලැබෙනවානම්. මට විශ්වාසයක් තියෙනවා ඕනෑම චරිතයකට සාධාරණයක් කරන්න මට පුළුවන් කියලා.
නවක රංගන ශිල්පිනියක් විදියට කලාව ගැන මොකද හිතෙන්නේ?
මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. මගේ පවුලේ අයත් එහෙමයි. මං පොඩි කාලේ ඉඳන්ම වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. පොඩි කාලේ ඉඳලම කලාව එක්කම හැදුණු වැඩුණු කෙනෙක්. ඒ නිසා මං කලාවට ගොඩක් ගරු කරනවා.
මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතන්නේ?
ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ දිලීෂියා මිස්ගේ චරිතයෙන් තමයි මං ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. මගේ ඉදිරි ගමනට මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ලොකු ශක්තියක්. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
ඔබ සම්බන්ධ වෙලා ඉන්න වෙනත් කලා නිර්මාණ ගැනත් මතක් කරමු?
මේ වෙද්දි මම ටෙලි නාට්‍ය පහකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරින් දෙකක් තාමත් විකාශය වෙලා නැහැ. බ්‍රහ්ම මුහූර්තයෙන් පටන් ගත්තම පාට පිහාටු, මනුසත් විමන, ඉරගිනි මද්දහන වගේම මේ දිනවල විකාශනය වන දොරකඩ දෙවොල කියන ටෙලි නිර්මාණවලට මං දායක වෙලා තියෙනවා.
කෙටි කාලයක් තුළ මෙතරම් සාර්ථක ගමනක් එන්න සහාය වූවන් පිරිසකුත් ඇති?
ඇත්තම කිව්වොත් මේ තරම් සාර්ථක ගමනක් එන්න ලැබුණේ ලලිත් රෝහිත එදිරිසිංහ අධ්යක්ෂවරයා නිසා. ඒ වගේම මගේ පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කරන්න ඕන. මේ පුංචි කාලය ඇතුළත මේතරම් ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මම හිතනවා මම හරිම වාසනාවන්තයි කියලා.
ඉදිරි කලා කටයුතු ගැනත් සඳහන් කරමු?
ලලිත් රෝහිත සර්ගේම තවත් අලුත් නිර්මාණයක් එන්න තියෙනවා. ඒකටත් මේ දවස්වල රංගනයෙන් සම්බන්ධ වෙන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම මගේ සිනමා නිර්මාණයේ වැඩ කටයුතු අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිර්මාණයත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දකින්න පුළුවන් වේවි.
silumina











