ළමා ගායිකාවක් විදිහට කලා ක්ෂේත්රය තුළ නමක් දිනා ගන්නට සමත් වූ දිනූපා කෝදාගොඩ අද වෙද්දී චිත්‍රපට පසුබිම් ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් විදියට දක්ෂතා පෙන්නුම් කරමින් සිටින්නීය. මේ දිනවල විකාශය වන ප්‍රසන්න ජයකොඩිගේ “චන්දරේගෙ wife” හි දිනූපා කෝදාගොඩ හරි අපූරු චරිතයක් මවන්නීය. ඒ ගැන වගේම මේ දිනවල කලා කටයුතු ගැන දිනුපා සමඟින් අද කතා බහ සිදුවනු ඇත.
මේ දවස්වල කලා කටයුතු මොනවාද?
පසුගිය දිනවල ආනන්ද අබේනායක මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයක් වෙනුවෙන් පසුබිම් ගායනයෙන් දායක වුණා. ඒ වගේම මේ දවස්වල මගේ නව නිර්මාණ කිහිපයක් වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නවා.
ඔබේ රංගන දායකත්වය ලබා දුන් චන්දරේගෙ වයිෆ් හි පූර්ව ප්රචාරක පටය එළිදැක්වෙලා තියෙනවා, කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් නැවතත් අපේ රටේ සිනමාවට සුබදායක කාලයක් උදාවෙලානෙ තියෙන්නෙ. ප්‍රේක්ෂකයින්ගේ හොඳ උනන්දුවක් තියෙනවා සිනමාව ගැන. ඒ නිසාම ගොඩක් දෙනෙක් “චන්දරේගෙ wife” තිරගත වනතුරු නොඉවසිල්ලෙන් මඟ බලාගෙන ඉන්න බවක් තමයි ප්‍රතිචාරවලින් පෙනෙන්න තියෙන්නේ.
මේ සිනමා නිර්මාණයට අවස්ථාව ලැබුණම මුලින්ම මොකද හිතුණේ?
සතුටක් ඇතිවුණා. ඒ වගේම මගේ සිහිනයක් සැබෑ වුණා. මම මුලින්ම වෘත්තීයමය වශයෙන් රංගනයට අවතීර්ණ වෙන්නේ වේදිකාවෙන්. වේදිකාවෙත්, පුංචි තිරයෙන් ඉතාම නිර්මාණශීලී, සුවිශේෂී නිර්මාණ කිහිපයකට දායක වෙන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ නිර්මාණ තුළ සුවිශේෂි චරිත නිරූපණය කිරීමට මට අවස්ථාව ලැබෙනවා. මම මුලින්ම සිනමාවේ රංගන අත්දැකීමක් ලබන්නේ ධර්මසේන පතිරාජයන්ගේ සක්කාරං චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරමින්. නමුත් ඒ කාලේ මට රංගනය ගැන ලොකු ආසාවක් හෝ උනන්දුවක් තිබුනේ නෑ. මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පසුව වේදිකා නාට්‍ය කලාවට සම්බන්ධ වීමත් සමඟ ලැබුණු අත්දැකීම් එක්ක තමයි රංගනය ගැන ලොකු ආසාවක්, උනන්දුවක් ඇතිවෙන්නේ. අන්න එතකොට මගේ හිතේ සිනමාව ගැනත් සිහිනයක් උපදිනවා. ප්‍රසන්න ජයකොඩි අධ්යක්ෂවරයා මේ චිත්‍රපටයට මට ආරාධනා කළාම මගේ කලා ජීවිතයට තවත් වටිනා අවස්ථාවක් ලැබුණා කියලා තමයි මට දැනුණේ. ප්‍රසන්න ජයකොඩි කියන්නෙ අපේ රටේ මම ඉතා ප්‍රිය කරන අධ්යක්ෂවරයෙක්. ඒ නිසාම වෘත්තීයමය වශයෙන් රංගනයෙන් දායක වුණු මගේ ප්‍රථම සිනමා නිර්මාණය “චන්දරේගෙ wife” වීම මට ඉතාම සුවිශේෂියි.

චරිතේ ගැනත් කෙටියෙන් කියමුකො….
ඇගේ නම මරියා. ඇය ජීවත් වෙන්නේ දුෂ්කර ගම්බද ප්‍රදේශයක, උක් යායක් මැද්දේ. මරියා කෙළිලොල් තරුණියක්. ඒත් ඇයට මුහුණ දෙන්න වෙන ජීවන අත්දැකීම් එක්ක ඇගේ කෙළිලොල් ජීවිතයට කණකොකා හඬනවා. ඇගේ පෙම්වතා වෙන කෙනෙක් සමඟ විවාහ වෙනවා. ඉතාම තරුණ අවධියේදී බලාපොරොත්තු නොවන විදිහට මවක් වෙන්න ඇයට සිද්ධ වෙනවා. ඒ සියලුම අභියෝග ඇය භාරගන්නෙ කොහොමද කියලා චිත්‍රපටය නැරඹුවොත් දැනගන්න පුළුවන්.
මින් පෙර සිනමා නිර්මාණ වගේම ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැනත් කතාකරමු?
මම මුලින් කිව්වා වගේ මේ මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටය. හැබැයි පසුබිම් ගායනයෙන් මම චිත්‍රපට කිහිපයකට මේ වෙනකොට දායක වෙලා තියෙනවා. ඒ අතරින් “මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි” සහ “අබා” චිත්‍රපට තිරගත වුණා. “එක ගෙයි සොකරි”, “Hello” සහ ආනන්ද අබේනායකයන් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
පුංචි තිරේ නිර්මාණ වලට වැඩි කැමැත්තක් නැද්ද?
එහෙම අකැමැත්තක් නෑ. වේදිකාවද, පුංචි තිරයද, සිනමාවද කියන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. කලාත්මක බවින් ඉහළ නිර්මාණවලට ආරාධනා ලැබුණොත්, හොඳ චරිතවලට ආරාධනා ලැබුණොත් මම ඉතාම කැමැත්තෙන් භාරගන්නවා. නිර්මාණයේ ප්‍රමිතිය ගැන මම ඉතාම සැලකිලිමත්.
කොහොමද කලාවට යොමු වුණේ?
මම වෘත්තීයමය ලෙස කලාවේ නියැළෙන්න ගන්නේ කුඩා කාලයේදීමයි. ඒ ළමා ගායිකාවක් විදිහට. මුලින්ම රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට, ටෙලිනාට්‍ය සහ වෙෙළඳ දැන්වීම් කිහිපයකට ගායනයෙන් දායක වුණා. ඉන් පස්සේ ජැක්සන් ඇන්තනි මාමා අධ්‍යක්ෂණය කළ හපන් පැදුර වැඩසටහනෙන් තමයි ළමා ගායිකාවක් විදිහට ජනප්‍රියත්වයට පත්වුණේ.
මේ කලා ගමනේදී අමතක නොවන තැන් ඇති.
අනිවාර්යයෙන්ම. හපන් පැදුර කරපු පුංචි කාලේ ඒ වගේ අමතක නොවන අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ වගේම අකිල සපුමල්ගේ “ගිරිකූඨ කාශ්‍යප”, ආනන්ද අබේනායකයන්ගේ වීරයා ගෙදර ඇවිත්”, අනසුයා සුබසිංහගේ “නොමළ කෝලම් (My Sweet Rotten Heritance)” වගේ නිර්මාණවලදී ලබපු අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
පවුලේ විස්තර මොනවාද?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, අයිය මමයි ඉන්නේ. මම විවාහකයි. මගේ ජීවන සහකරුවා “නදික වැලිගොඩපොල” ඔහුත් කලා ශිල්පියෙක්.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
හොඳ සහයෝගයක් ලැබෙනවා. නදිකගෙන් වගේම මගේ මවුපියන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.
අලුත් ගීතයක් කළේ නැද්ද?
අලුත් ගීත නිර්මාණ කිහිපයක්ම තියෙනවා. නුදුරේදීම එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කලාවට අමතරව මොනවාද කරන්නේ?
මගේ මුළු ජීවිතයටම කලාව සම්බන්ධයි. ඊට අමතරව කියල දෙයක් නැති තරම්. මම ඉගැන්වීම් කටයුතුත් කරනවා. හැබැයි ඒකත් කලාවට සම්බන්ධයි.
අනාගත බලාපොරොත්තු මොනවාද?
ලොකුම බලාපොරොත්තුව මනුෂ්‍යයෙක් විදිහට වගේම කලා ශිල්පිනියක් විදිහට දවසින් දවස ධනාත්මකව දියුණු වෙන එක තමයි. ඒ වගේම කලා වැඩ කටයුතු ගැනත් බලාපොරොත්තු තියෙනවා. ඒවා හෙමිහිට කියන්නම්.
ප්‍රේක්ෂකයන්ට චන්දරේගෙ වයිෆ් ගැන මොනවාද කියන්න තියෙන්නෙ?
මේ නිර්මාණය ප්‍රසන්න ජයකොඩි අධ්යක්ෂවරයාගේ කලින් අපි දැකපු නිර්මාණවලට වඩා වෙනස් ආරක නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නේ. ඒ නිසාම ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරනවා “චන්දරේගෙ wife” තිරගත වෙද්දි සිනමා ශාලාවට ගිහිල්ලා මේ නිර්මාණය රසවිඳින්න කියලා. ඒ වගේම චිත්‍රපටය නරඹලා ගුණ දොස අපට කියන්න.
silumina.









