ලලිත් රත්නායකගේ රිවර්ස්ටන් චිත්‍රපටය බලන්න ලැබුනා. ලලිත් රත්නායක කියන්නෙ වෙනම රූපමය හැඩයක්, සෞන්දර්යවේදයක් එක්ක තමන්ගේම වූ ගනුදෙනුවක් කරන අධ්යක්ෂවරයෙක්.
කවුරු හරි ලලිත්ගෙ ටෙලිනාට්‍ය බලලා තියෙනවා නම් ලලිත්ගේ කාලය, වේගය මන්දගාමී, රමණීය දර්ශන තල මත දිවෙන කවිකාර රූප භාෂාව අදුරනවා. ඉතින් එහෙම විශේෂ ඊස්තටිකයක් එක්ක ගනුදෙනු කරන චිත්රපටකරුවෙකුගේ ගුණදොස් විචාරය කරනවාට වඩා මම කැමති ඒ ලලිත්මය භාවය වෙනස් කතා තේමාවක් ඇතුලෙ, වෙනස් චරිත ඇතුලෙ වැඩ කරන හැටි බලන්නයි.
ඉතින් ලලිත් රත්නායකගේ රූප මාධ්‍යයට ආශක්ත මම ආස්වාදය රිවර්ස්ටන් ඇතුලෙත් ඒ ආස්වාදය නොමදව වින්දා.
රිවර්ස්ටන් චිත්‍රපටිය බලද්දි මට දැනුනු දෙයක් තමයි මේ චිත්‍රපටය සහ ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය දෙකම එකම තේමාවක් එක්ක ගනුදෙනු කරන වග. සමහර සිදුවීම් පවා එකිනෙක සමපාත වෙන වග. මේකෙන් අදහස් වෙන්නෙ නෑ රිවර්ස්ටන් කියන්නෙ රහස් කියන කඳුමයි කියල. ඇත්තටම ජගත් එයාගෙ චිත්‍රපටයෙ හැගීම් දැනීම් නිර්වින්දනභාවයකට පත් කරලා ගොඩනගන සිනමා අත්දැකීම ලලිත් රත්නායක මනුස්ස හැගීම්වලින් තෙත්භරිත කරමින් නිර්මාණය කරනවා.
ඒ බිහිසුණු බව ඉදිරියේ හැගීම් දැනීම් නැති ශරීරයක් පැවතීම සහ සියලු සංවේදනා හොඳින් දැනෙන, විඳින මිනිස් ජීවිතයක පැවතීම අතර වෙනස ඒ සිනමා කෘති දෙක අතර සළකුණු වෙනවා. මං හිතන්නෙ මේ සිනමා කෘති දෙක අතර සංසන්දනය හොඳ සිනමා හොඳ අභ්‍යාසයක් වේවි.

චිත්රපටියෙ ප්‍රධාන චරිත හතර තමන්ගේ චරිත ඇතුලෙ උපරිම පරාසයන් නිර්මාණය කරනවා. මහේන්ද්‍ර, ශ්‍යාම්, රන්දික, සිරිකුමාර අපිට මීට කලින් දැකලා නැති විදිහට මුනගැහෙනවා. නළුවන්ගෙ චමත්කාරය කියන්නෙ චිත්‍රපටියක වෙනම සැපක්.
හැම චරිතයක්ම සුවිශේෂයි. ඒ අයගෙ ජීවිත, ඒ අයගෙ ප්‍රශ්න, ඒ අයගෙ සංවේදනා සහමුලින්ම වෙනස්. එකම අරමුණකට, එකම මගක, එකම වාහනයක ගමන් කළත් ඒ අයගෙ මනස් ස්වභාවයන් ඒ මේ අත ගමන් කරනවා. එකිනෙක ගැටෙනවා.

ලලිත්ම කියන විදිහට වෙනස් වෙනස් සංසාර චක්රයන් පහු කරනවා. ඝාතකයාත් ගොදුරත් කියන්නෙ දෙකක් නෙමෙයි. ඝාතකයාම ගොදුරක්. ගොදුරම ඝාතකයෙක්. කවුරුවත් අසංවේදී නෑ. හැමෝම සංවේදී මිනිස්සු.

(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ - facultyofsex









