ගීතයක රස මවන්නේ සංගීතඥයාය. ඕනෑම පද පෙළක් තාලය හා රිද්මය මුසුකර මිහිරැති ගීතයක් බවට පත්කරන්නේ ඔහුය. අද අප හා එක්වන ඔහුද සංගීත ක්ෂේත්‍රයේ දශක හයකට වැඩි ඉතිහාසයක් ඇති දක්ෂ, ප්‍රවීණ සංගීතඥයෙකි. ඔහු නමින් සරත් වික්‍රමය. වසර 62කට පසුව සිය කලා දිවියේ රසමුසු තැන් එක්කර පළමුවරට ප්‍රසංගයක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු එය අන්තර්ජාතික ප්‍රසංග වේදිකාවක අත්දැකීමක් ලෙසින් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමේ සූදානමින් පසුවෙයි.
නුදුරේදීම පැවැත්වීමට නියමිත සිය කුලුඳුල් ප්‍රසංග අත්දැකීම ගැන ඔහු කීවේ මෙවන් අදහසකි.
“මම කලා ක්ෂේත්‍රයට පැමිණ අවුරුදු 62ක් වෙනවා. කැසට්පට 100කට අධික ප්‍රමාණයකට, ටෙලි නාට්‍ය 150කට අධික ප්‍රමාණයකට, චිත්‍රපට 70කට වැඩි ප්‍රමාණයකට මේ වෙද්දි ගීත නිර්මාණය කරලා තියෙනවා. නමුත් මෙතෙක් කාලෙකට මගේම කියලා ගීත ප්‍රසංගයක් කරලා නැහැ. බොහෝ දෙනකුගේ ඉල්ලීම මත මේ දිනවල මගේ පළමු ප්‍රසංගය පවත්වන්න සූදානම් වෙනවා. එය නම් කළේ වික්‍රම් කියලා. වික්‍රම් ප්‍රසංගය ලබන 6 වැනිදා මරදාන කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා. සිංහල, දමිළ, හින්දි භාෂා ත්‍රිත්වයේ ගීත වගේම සිංහල ගැමි සංගීතය ඇසුරින් නිර්මාණය වුණු සිම්පනි දෙකකුත් මේ ප්‍රසංගයට ඇතුළත්. එය ලාංකේය සංගීත කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි කියලා හිතනවා. පනස් දෙනකුගෙන් පමණ යුතු සජීවී වාදක මණ්ඩලයකින් සමන්විත ඔගෙස්ට්‍රා එකක් සමඟින් කලා ශිල්පීන් රැසක් ගීතවත් වන මේ ප්‍රසංගය සඳහා අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංග වේදිකාවල යොදාගන්නා 7.1 තාක්ෂණය යොදා ගැනීම ලාංකිකයන්ට අලුත්ම අත්දැකීමක් වේවි. විශාල LED තිරය සහිත ආලෝක සැලසුම වගේම සම්පූර්ණ ප්‍රසංගය වීඩියෝපටිගත වීමත් සිදුවෙනවා. එදා එච්.ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග්, ලතා වල්පොළ, ඇන්ජලීන් ගුණතිලක, නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද වැනි ප්‍රවීණ ශිල්පීන් ගායනා කළ ගීත ප්‍රදීපා ධර්මදාස, රෝහණ බෝගොඩ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ලලිත් පොන්නම්පෙරුම, ජගත් වික්‍රමසිංහ වැනි ශිල්පීන්ගේ හඬින් මෙම ප්‍රසංගයේදී ගීතවත් වනවා. මෙය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළෙන අවස්ථාවක් වේවි කියලත් හිතෙනවා.“
ලංකාවේ පළමුවරට මෙන්ම ලෝකයේද මෙවන් විශාල ප්‍රසංගයක් සඳහා සම්පූර්ණයෙන්ම 7.1 තාක්ෂණය යොදගනු ලබන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්වනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.
“7.1 තාක්ෂණය ජාත්‍යන්තර වේදිකාවට දැනටමත් යොදා ගන්නවා. මං දන්න තරමින් ජාත්‍යන්තර වේදිකාවේ වුණත් මේ වගේ සම්පූර්ණ ප්‍රසංගයක් සඳහා මේ තාක්ෂණය මෙතෙක් යොදාගෙන නැහැ. ශ්‍රී ලංකාවට මෙය කොහොමත් අලුත් අත්දැකීමක්. 7.1 තාක්ෂණය යොදා ගැනීමෙන් ප්‍රසංගයේ හඬ සහ සංගීතය කියන අංග දෙක වෙන වෙනම හඳුනාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගීතයක් අහද්දි හඬ සහ සංගීතය කියන දෙකම ඇහෙන්නේ එකටමයි. මෙතැනදි වෙන්නේ ඒ දෙක වෙන්කර හඳුනාගෙන රසවිඳීමේ හැකියාව ලැබීම. මට ඕන කළේ වේදිකාවේ වෙනසක් කරන්න. මේ තාක්ෂණය සඳහා උපකරණ ලංකාවේ නැහැ. පිටරටින් ගෙන්වනවා නම් අධික වියදමක් යනවා. මං ඒ උපකරණ ඔක්කොම ලංකාවේම හැදුවා. එයත් විශේෂයි.

මගේ දහසක් ගීත නීර්මාණ අතරින් සම්මාන ලැබූ ගීත කිහිපයක් ඇතුළුව තෝරාගත් මගේ ගීත නිර්මාණ පනහක් අතුරින් තිහක් විතර එදින වේදිකාවේ ගැයෙනවා. ඊට අමතරව ‘දරු නැළවිලි‘ සහ ‘ගජගා වන්නම‘ ඇසුරින් නිර්මාණය කළ සිම්පනි දෙකක් යොදාගෙන තියෙනවා. ඊට අමතරව එදින තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් තියෙනවා. ඉන්දියානූ ප්‍රවීණ ගායක බාලසුබ්‍රමනියම් සමඟ කළ ගීතයක් සහ ආශා බෝස්ලේගෙන් පසුව ඒ තැනට සමීප විය හැකි දකුණු ඉන්දීය ගායිකා සුනන්දා සමඟ කළ ගීතයක් එදිනට එළිදක්වන්නත් කටයුතු යොදා තියෙනවා. මෙවර වාදකයින් පනහකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. ඉදිරියේදී එය අසූව දක්වා වැඩි කිරීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා. ජාත්‍යත්නරයේ දැනුම හා තාක්ෂණය යොදා ගනිමින් වැඩිදියුණු කරගනිමින් ඉදිරියටත් මෙම ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ සුවිශේෂී අත්දැකීම විඳගන්න එන්න කියලා මගේ ආදරණීය රසික ප්‍රජාවට මං ආරාධනා කරනවා.“
සරත් වික්‍රම සංගීතඥයා 1973 වසරේ ෆෝචූන් සංගීත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ආරම්භ කළ සංගීත දිවියට මේ වනවිට වසර 62කි. 1978දී ගුවන්විදුලි වාදක මණ්ඩලයේ CELLO වාදකයකු ලෙසද කටයුතු කර ඇති ඔහු ෆ්‍රෙඩී සිල්වා සඳහා කළ පළමු ගීත නිර්මාණයේ සාර්ථකත්වය මත 1984දී එච්. ආර්. ජෝතිපාල සඳහා ‘මේ නොනිමෙන දිවි ගමනේ’, පුංචි දෝණි, පතනා දේ’ ඇතුළු ජනප්‍රිය ගීත 36ක් නිර්මාණය කළේය. මොහිදීන් බෙග් ගයනු ලබන ‘බුද්ධං සරණං ගච්චාමී’ ගීතය ලංකාවේ නැවත පටිගත කිරීමද අතිසාර්ථක වීම ඔහු ගැන විශ්වාසය තව තවත් ඉහළ නංවන්නට හේතු විය. මේ වනවිට කැසට්පට සියයකට අධික ප්‍රමාණයක් සඳහා සංගීත නිර්මාණය කර ඇති සරත් වික්‍රම, හර්බට් රංජිත් පීරිස්ගේ ‘හිරුට මුවාවෙන්‘ ටෙලි නිර්මාණය ඔස්සේ ටෙලි නාට්‍ය ගීත නිර්මාණයටද යොමුවෙමින් මේ වනවිට ටෙලි නිර්මාණ 150කට අධික ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දී ඇත. 1982 වසරේ ‘කිරි මුහුදු වෙරළේ’ ගීතය නිර්මාණය කරමින් චිත්‍රපට ක්ෂේත්‍රයටද පිවිසි ඔහු චිත්‍රපට 70කට අධික ප්‍රමාණයක් සඳහා තම නිර්මාණ දායකත්වය ලබාදී තිබේ. සිංහල දමිළ, හින්දි, ඉංග්‍රීසි, උර්දු ආදී භාෂා පහකින් ගීත නිර්මාණකරණයේ යෙදී ඇති සරත් රයිගම්, OCIC, රාජ්‍ය, සුමති, ජනාධිපති ආදී සම්මාන රැසකින් පිදුම් ලබා ඇති දක්ෂ සංගීතඥයෙකි. සංගීත නිර්මාණ ඇසුරෙන් පොත්පත් රාශියක් ද සම්පාදනය කර ඇති ඔහු දකුණු ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපට සඳහා සංගීත නිර්මාණය කර තිබීමද ලාංකේය අපට ආඩම්බරයකි.
rasaduna









