වේදිකාව තුළින් ලද පරිචයෙන් රංගනයට පිවිසි හෙතෙම මේ දිනවල විකාශය වන ‘මායාවි’ ටෙලිනාට්‍යයේ නිශ්ශංකයි. පසුගියදා විකාශය අවසන් වූ වෙනස්ම තේමාවකින් යුත් ‘රට පවුල’ හි ලියනගේ නම් ඒජන්සිකරු ද ඔහුය. වේදිකාව, සිනමාව හා රූපවාහිනියේ එකිනෙකට වෙනස් රංගන පරාසයන්හි විවිධ භූමිකාවන්ට ජීවය දෙන ප්‍රසාද් සූරියආරච්චි වෘත්තියෙන් නීතිඥවරයෙකි.
නීතිඥ වෘත්තියත්, කලා දිවියත් සමබරව ගෙන යන ඔහු, මේ දිනවල නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.
‘රට පවුල’ හි ලියනගේත් එකී නිර්මාණය ගැනත් විශේෂයෙන් කතා කිරීමට ඔහු අමතක නොකළේය.
“පසුගියදා විකාශය නිම වූ ‘රට පවුල’ ටෙලිනාට්‍යයේ ලියනගේ ගොඩාක් ජනප්‍රිය වුණා. මේ කතා තේමාවත් වෙනස්ම ආකෘතියක් නිසා ප්‍රේක්ෂකයා ටෙලිනාට්‍යය ආදරයෙන් වැලඳගත්තා. අධ්යක්ෂ සමීර හසුන්ගේ දක්ෂතාවත් එයට බලපෑවා. මෙහි පුද්ගල සබඳතාවල ඛේදවාචකය ගැන කතා කෙරෙනවා. නාඳුනන පිරිසක් එකම පවුලක් වගේ හැසිරෙන විදිහත් ප්‍රේක්ෂකයාට නැවුම් දෙයක් වුණා .මෙය සාම්ප්‍රදායික පවුල ඉක්මවා ගිය පවුලක්. මෙතෙක් නිර්මාණකරුවෙක් අත නොගැසූ තේමාවක් මෙයට පාදක වුණා”
‘මායවි’ ටෙලිනාට්‍යයේ ප්‍රසාද් ජීවය දෙන නිශ්ශංක ද ප්‍රේක්ෂකයා රඳවා ගැනීමට සමත් චරිතයක් වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන නිශ්ශංක ශිෂ්‍යාවක් සමඟ පවත්වගන්නා සබඳතාව හේතුවෙන් දරුවකු ලැබීමත් සිය ජීවිතය විනාශ වූ පසු තම දරුවා සොයාගෙන එන නිශ්ශංක පිළිබඳත් මේ වනවිට උණුසුම් ප්‍රේක්ෂක කතාබහක් ඇතිව තිබේ.
ප්‍රසාද් සූරියආරච්චි අධ්‍යාපනය ලද කොළඹ වෙස්ලි විද්‍යාලයේ ඔහුගේ පන්තිභාර ගුරුවරයා වූ ප්‍රවීණ කලාකරුවකු වන ගාමිණී සමරකෝන් නිපදවූ ‘රටේ වෙදා’ වේදිකා නාට්‍යයේ කමල් අද්දරආරච්චි සමඟ ප්‍රධාන චරිතය නිරූපණයත් 1982දී සෝමලතා සුබසිංහගේ ළමා හා යොවුන් රංගපීඨයට සම්බන්ධ වී රංගනය පිළිබඳ හැදෑරීමත් ඔහුගේ කලාදිවියේ ආරම්භක අවස්ථාවන් විය.
“මම උසස් පෙළ කරන අවධියේ සෝමලතා සුබසිංහ මහත්මියගෙන් රංගනය ඉගෙන ගැනීමත් සමඟ ඇගේ ‘විකෘති’ නාට්‍යයේ රඟපෑවා. වසර 10ක් 15ක් එහි රඟපෑ මම එයින් ඉවත්වෙද්දී පියාගේ චරිතයයි රඟපෑවේ.“
පුංචි තිරය සඳහා ඔහු යොමුවූයේ 1983 වසරේදීය. ඒ ජාතික රූපවාහිනිය ආරම්භ වී වසරකට පසුවය. එකල ජාතික රූපවාහිනියෙන් ඇරඹි ශ්‍රීමතී ලියනගේ නිෂ්පාදනය කළ ‘ලොක්කේ මාමා’ හා ‘හත් පණ’ ළමා ටෙලි නාට්‍යවල ද රඟපෑ ඔහු, මැදිරි නිෂ්පාදනයක් වූ ළමුන් සම්බන්ධ කතා ඇතුළත් වූ ‘කතන්දර පිටුව’ හි රඟපෑම තුළින් ප්‍රේක්ෂකයා අතර වඩාත් කතාබහට ලක්විය. අනතුරුව ‘ඉටි පහන් 2, ස්වර්ණ තිසරාවි, යශෝ මන්දිර’ ආදි ටෙලිනාට්‍ය හරහා පුංචි තිරයෙන් ඔහු ප්‍රේක්ෂකයාට වඩාත් සමීප විය.
වේදිකාවෙන් මනා පරිචයක් ලද ප්‍රසාද් සූරියආරච්චි වේදිකා නාට්‍ය කලාවේ දැවැන්තයන් වූ සෝමලතා සුබසිංහගේ ‘විකෘති’ , සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ , ශාන්තුවර සෙබළාණෝ’ , පරාක්‍රම නිරිඇල්ලගේ ‘උත්තමාවි’ , ටෝනි රණසිංහගේ ‘ජුලියස් සීසර්’, හෙලේනා ලෙහ්තිමතීගේ ‘පුන්තිලා’, ඩග්ලස් සිරිවර්ධනගේ ‘හිට්ලර්’ , ප්‍රසන්න විතානගේගේ ‘අවි, ද්විත්ව, දෙබිඩ්ඩෝ’, අශෝක හඳගමගේ ‘හෙණ, මාඝාත, භූමිකා’ ආදි වේදිකා නාට්‍ය රැසකම විවිධාකාර චරිත ඔස්සේ සිය රංගන වපසරිය මුවහත් කර ගත්තේය. ඉකුත් වසරේ තිරගත වූ අශෝක හඳගමගේ ‘රාණි’ චිත්‍රපටයේ එක් දර්ශනයක් වෙනුවෙන් 1985දී වේදිකාගත වූ හඳගමගේම ‘මාඝාත’ වේදිකා නාට්‍යයේ දර්ශනයක් නැවත අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපටයට ඇතුළත් කිරීමේ කාර්යය පැවරුණේ ප්‍රසාද් සූරියආරච්චිටය. ඔහු එය සිහිපත් කළේ මෙලෙසිනි.
” හඳගම මගෙන් ඉල්ලීමක් කළා ඔහුගේ ‘රාණි’ චිත්‍රපටයට ඔහුගේම ‘මාඝාත’ වේදිකා නාට්‍යයේ කොටසක් නැවත නිර්මාණය කර දෙන ලෙස. ඉන්පසු ‘මාඝාත’ නව නිෂ්පාදනයක් ලෙස දිගටම කරගෙන යන්න කියා හඳගම මට කිව්වා. 1985දී වේදිකාගත කළ ඔහුගේ ‘මාඝාත’ පිටපත එලෙසම මම අධ්‍යක්ෂණය කළා. ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදනයෙන් එක්වුණා. පසුගිය 2025 වසරේ මෙය වේදිකාගත කළා. දැනට දර්ශන වාර කිහිපයක්ම පෙන්නුවා”
එකල සහ අද වේදිකා නාට්‍යයක් නිර්මාණයේදී වෙනස්කම් රැසක් අත්විදීමට වූ බව ද හෙතෙම සඳහන් කළේය.
” 80 දශකයේත් 2025දීත් වේදිකාව තුළ ලද අත්දැකීම් හාත්පසින්ම වෙනස්. ආර්ථික වශයෙනුත් ලොකු අර්බුදයක් දකිනවා. එකල ශිල්පීන් මුදලම මුල්කරගෙනම නෙවේ කැපවීමෙන් වේදිකාවේ රැඳීසිටියේ. අද අලුතින් එන බොහොමයකගේ සාමූහික බව , කැපවීම දකින්න නැහැ. තනි ගමනක් තියෙන්නේ. අලුත් අය මුදලටයි මූලිකත්වය දෙන්නේ. 80 දශකයේ වේදිකාවේ තිබූ අභියෝග, ලෙන්ගතු බව, නිර්මාණයට තිබෙන ආදරය වැනි දේ බොහෝසෙයින් අද වෙනස් වෙලා. එදා වේදිකාවට අපේ ලොකු ගෞරවයක් තිබ්බා. ඒ කෙසේවුවත් වේදිකාව අතහරින්නේ නැහැ. අපේ මුල් තියෙන්නේ වේදිකාවේ. දිගටම මම වේදිකාවේ ඉන්නවා . අද නාට්‍යයක් කිරීම සහ පවත්වාගෙන යෑම විශාල අභියෝගයක් වුවත් රසඥතාවයෙන් යුත් නිර්මාණ අප කළ යුතුයි. අද වේදිකාවේ නාට්‍ය මාෆියාවකුත් තිබෙනවා. වේදිකා නාට්‍ය වෙළෙඳපොළ පිළිබඳ ප්‍රශ්නත් තිබෙනවා. ඒ වගේම රාජිත දිසානායක වැනි තරුණ අධ්යක්ෂවරුන් යටතේ රඟපාන්න ලැබීමත් වටිනවා. ඔහුත් දැන් විශාල පරිචයක් සහිත ප්‍රවීණයෙක්. ඔහුගේ නාට්‍යයක අද නවකයන්ට රඟපාන්න ලැබීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා වගේ දෙයක්..”
ප්‍රසාද් අද වනවිට රාජිත දිසානායකගේ ‘අපේ ගෙදර ගිනි තියයිද’ හි සුනිමල් නමැති විශ්‍රාමික පොලිස් සැරයන් ලෙසත්, ‘සාදය මාරයි සල්ලි හමාරයි’හි රහස් පරීක්ෂක චරිතයකින්ද ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’හි සරණපාල ලෙස ද රඟපාමින් රට වටා යමින් සිටියි. වේදිකා නාට්‍යයක කතාතේමාව ගැන සලකා බලන බවත්, හරවත් යමක් ප්‍රේක්ෂකයාට දිය නොහැකිනම් එවැනි නිර්මාණ භාරනොගන්නා බවත් ඔහු පැවසීය.
වේදිකාව තුළ ප්‍රසාද් සූරියආරච්චි සම්මානනීය වූ අවස්ථා රැසකි. 1985දී ‘චින්තන සාදය’ කෙටි නාට්‍යයට තරුණ සේවා සභාවේ යෞවන සම්මාන උලෙළේදී හොඳම නාට්‍යයටත් , රචනයටත් , නළුවාටත් ඔහු සම්මාන ලැබීය. 1986දී ‘ලෝකා’හි රඟපෑමට ජූරියේ විශේෂ සම්මානයකුත් , හොඳම ඇඳුම් නිර්මාණයට සම්මානයත් හිමිවිය. 1989දී ‘වළලු සැණකෙළි’ වෙනුවෙන් හොඳම නිෂ්පාදනයට 02වැනි ස්ථානයත් , 1993දී ‘ජූරිය’ නාට්‍යයට වසරේ හොඳම නළුවා සම්මානයත් (මනුවංශ චරිතය) හිමිවිය. එසේම රාජ්‍ය නාට්‍ය උලෙළේ ‘සිහින හොරු අරන්, එව බලව, ඉඩමේදී විකිණේ’ වේදිකා නාට්‍ය සඳහා කුසලතා සම්මානයන්ගෙන් ඔහු පිදුම් ලැබීය.
‘සිහින දේශයෙන්, යුවතිපති, චන්ද කින්නරි, ආකාස කුසුම්’ ආදි චිත්‍රපට හරහා ද ප්‍රසාද්ගේ රංගනයන් ප්‍රේක්ෂකයා අතරට ගොස් තිබුණි.
වෘත්තියෙන් නීතිඥවරයකු ප්‍රසාද් නීතිඥ වෘත්තියේ යෙදෙන අතර කලාවට යොමුවීම ගැන සතුටු වන බවත් කලාවෙන් ලබන ආත්මතෘප්තිය මිල කළ නොහැකි බවත් කලාව හා නීතිඥ වෘත්තිය සමබරව කරගෙන යන බවත් ඔහු පැවසීය.
පවුලේ සියලු දෙනා කලාවට සම්බන්ධ බැව් සිහිකිරීමට ද ඔහු අමතක නොකළේය.
“මගේ බිරිද රන්මලී සූරියආරච්චි . ඇය ‘මාඝාත’ නව නිෂ්පාදනයේ රඟපානවා. ටෙලිනාට්‍ය කිහිපයකත් රඟපෑවා. ඇයත් නීතිඥවරියක්. ලොකු පුතා කිසල් සූරියආරච්චි. එයා ‘බැංකු වීරයා’ නාට්‍යයේ මාත් එක්ක රඟපෑවා. අපරදිග සංගීතය කණ්ඩායමක් සමඟත් කටයුතු කරනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමකර ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරනවා. දෙවැනි පුතා සුවින් සූරියආරච්චි. එයා ‘ඉස්සා’ නමින් වේදිකා නාට්‍යයක් ලියා අධ්‍යක්ෂණය කළා. එය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළා. එහි මාත් බිරිඳත් රඟපෑවා. ලොකු පුතා එහි සංගීත අධ්‍යක්ෂණය කළා. දෙවැනි පුතාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කර පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා “
rasaduna









