lan englan tam

පුවත්

ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනී මහාචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ උපහාර උළෙල හෙට (02)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකීය ශාස්ත්‍රීය, දේශපාලන සහ සමාජයීය කතිකාවන් උඩුයටිකුරු කරමින්, මෙරට ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරයන්ට මෙන්ම ස්ත්‍රීවාදී මතවාදයන්ට නව ජීවයක් ලබාදුන් පුරෝගාමීශාස්ත්‍රවේදිනියක වන මහාචාර්ය කුමාරි ජයවර්ධන ඇගයීමේ සුවිශේෂී ශාස්ත්‍රීය උපහාර උළෙලක් හෙට (ජූනි 02 වැනි අඟහරුවාදා) සවස 4.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී (NAT) පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙම උපහාර උළෙලේ ප්‍රධානත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් දරනු ලබයි.

මේ වන විට 95 වැනි වියෙහි පසුවන මහාචාර්ය කුමාරි ජයවර්ධන ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය, කම්කරු පන්තියේ ඉතිහාසය, ජාතිකවාදය මෙන්ම කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර තලයේ අතිශය සම්භාවනාවට පාත්‍ර වූ පර්යේෂණ ග්‍රන්ථ රැසක් දායාද කළ අද්විතීය විද්වතියකි. ඇයගේ "Feminism and Nationalism in the Third World" (තෙවන ලෝකයේ ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය) වැනි කෘතීන් අදටත් ලෝකය පුරා ශාස්ත්‍රීය පරිශීලනයට ලක් වේ.

‘ලාංකීය ශාස්ත්‍රීය කතිකාවේ පුරෝගාමී ශාස්ත්‍රවේදිනිය’ තේමාව යටතේ පැවැත්වෙන මෙම උපහාර උළෙලේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලන විද්‍යාඥයෙකු වන සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසිනි.

වැඩසටහන් පෙළගැස්ම

මෙහිදී මහාචාර්ය කුමාරි ජයවර්ධන ගේ ශාස්ත්‍රීය සහ සමාජයීය මෙහෙවර පිළිබඳ කෙටි හැඳින්වීමක් ආචාර්ය චූලනී කොඩිකාර විසින් සිදු කිරීමට නියමිත අතර, සමස්ත ඇගයීම් උළෙල මෙහෙයවීම ප්‍රවීණ සමාජ විද්‍යාඥ ආචාර්ය සසංක පෙරේරා විසින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රගමනය වෙනුවෙන් සුවිශාල න්‍යායික සහ ප්‍රායෝගික දායකත්වයක් සැපයූ මහාචාර්ය කුමාරි ජයවර්ධනට ගරු කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම සුවිශේෂී වැඩසටහන ශාස්ත්‍රලෝලී, ප්‍රගතිශීලී සහ උනන්දුවක් දක්වන සැමට විවෘත බව කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය සහෝදරාත්මකව දැනුම් දෙයි.

 

WhatsApp Image 2026 06 01 at 7.41.00 AM

  

kemadasa

shungara

Back to top
Go to bottom