lan englan tam

පුවත්

රූකාන්ත මාව හොඳට දන්නවා...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මට මුලින්ම රූකාන්ත ව මුණ ගැහෙන්නේ රබර් වත්තක් ඇතුලෙදි .එයා ඩෙනිමකුත් ඇඳගෙන රබර් වත්ත මැද්දෙන් දුවනවා ,ඊට පස්සේ රතුපාට ට්‍රේල් බයික් එකක පාරක් දිගේ යනවා.ඒ අතරේ කියනවා ...
මේ දිගන්තයේ
මල් වසන්තයේ
ඈ නිසංසලේ
මා නිසංසලේ...
නිල් ගුවන් ගැඹේ
පායනා සදේ
දන්නවාද ඒ
පෙම් කතන්දරේ...


මේක මගේ පුංචි කාලෙදි පිස්සුවක් තරමට වැලඳුණ ගීතයක්.එක පාරක් දහම් පාසලේ සමිතියේ දී මේ සින්දුව කිවුවා කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා තාත්තා එක්ක එන්න කියලා.කතාවට පස්සේ හොඳටම බැනලා තිබ්බත් බෞද්ධ ගීතයක් මේ දරුවා දන්නේ නැද්ද කියලා.ඒ වගේම තාත්තට කියලා තිබ්බා ඊළඟ පාර සමිතියේදී අනිවාර්යයෙන්ම බොදු ගීතයක් කියන්න උගන්නන්න කියලා. ඊළඟ සතියේ සකළ සතට බොදු බැතියෙන් කියලා ජාමෙ බේර ගත්තා ..
මම හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි මේ ගෙවෙන්නේ කාලය නෙවෙයි ජීවිතය කියන එක.අන්න එහෙම මං විශ්වාස කරපු විදියට ජීවිතේ ගෙවිලා අවුරුදු විසි එකක් වුණා .එතකොට මං පෙම්වතෙක් .එයාගේ නම යාරා.අපි දෙන්නම රස්සාවල් කරන දෙන්නෙක්.ඒත් අපි දෙන්නම අඟහරුවාදා බ්‍රහස්පතින්දා කියන දවස් දෙකේම හවසට අයි .එල්.ටී.එස් ක්ලාස් එකේදී හම්බ වෙනවා.එය හැමදාම වාඩිවෙන්නේ මන් ගාව.සොරි මම හැමදාම වාඩි වෙන්න එයා ගාව..
මට එයාගෙන් අහන්න තිබ්බේ ප්‍රශ්න දෙකයි .පලවෙනි ප්‍රශ්නය ඔයා බඹර පහස ලබන මලක් ද?
දෙවැනි ප්‍රශ්නය ඔයා බඹර සුවය සොයන මලක්ද ?
යටි හිතින් හිතුවා දෙවැනි ප්‍රශ්නෙට උත්තරය ඔව් කියලා ආවා නම් මරු නේද කියලා ..
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
අද උදෙත් හිනා වෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ වුනාට හිත අරන් ගියා ..
මම පෙම්වතෙක් කිව්වට හරිහමන් පෙම්වතියක් හිටියේ නෑ.කෙල්ලො අටකට විතර ට්‍රයි කරා.සමහරක් ප්‍රේමයන් කොච්චර රහසිගතයි ද කියලා කියනවා නම් ඒ කෙල්ලවත් දැන ගත්තෙ නෑ මම ඒකිට ට්‍රයි කියලා.කොහොමත් මට පෙම්වතෙක් වෙන්න අනිත් පාර්ශවයේ කැමැත්තක් උවමනා වෙලා තිබුණේ නෑ .මම එයාට ආදරෙයි නං මං පෙම්වතෙක්.මේක කියවන ඔබ සමහර විට මට හිනාවෙයි .එහෙම හිනා උනාට කමක් නෑ හිනා වෙලා හිනා වෙලා තමන් ගේ හිතටම පොඩ්ඩක් කතා කරලා බලන්න,කී දෙනකොට හිතෙන් ඒක පාර්ශවියව ප්‍රේම කරලා තියෙනවද කියලා..
ඉන්න මම යාරාගේ කතාවට ආයෙමත් එන්නම්.
යාරා මට කැමතියි වගේ.ඒත් එක වෙලාවකට හිතෙනවා කැමති නෑ වගේ කියලා.කොහොමත් කෙල්ලෝ කියන්නේ නොරොච්චෝලේ බලාගාරය වගේ නේ.මේ හොඳට තියෙනවා මේ කැඩෙනවා, මේ හොඳට තියෙනවා මේ කැඩෙනවා. වෙලාවකට කැමතියි වගේ වෙලාවකට අකමැතියි වගේ.
එක දවසක් එයා වාඩිවෙලා හිටිය බන්කුවේ මට ඉඩක් තිබුණෙ නෑ.මම වෙන තැනක වාඩි වෙනකොට යාරා හරි ලස්සනට ඇස් අගින් බලලා හිනා වුනා.ඒ හිනාවේ එක තැනක තිබුණා "සොරි,මේ කරුමක්කාර ගෝතයා මගේ ලගින් වාඩි උනා නේ" වගේ හැඟීමකුත්.
එයා ආයෙමත් හිනා වෙන වෙලාවක් බලලා මම වට්ස් ඇප් මැසේජ් එකක් යැව්වා..
රහසක් කියන්න තියෙනවා ඔයාගෙ කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් හිටියොත් කියන්න බැහැ මට අනිත් අයට එය ඇහෙන නිසා...
ඇස් දෙක දෙක පියාන නිදාගන්න මට බෑ
හිත තුළ දඟලන
මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ
සිත එක්තැන් කළ කර නිදන්න හැදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නේ නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් මටත් නිදන්නට ඕනෙම නෑ ..
අනේ රත්තරන්
හිතට වද නොදී
තුරුළු වෙන්න ආදරෙයි කියා ...
මට කියන්න දේවල් හුගක් තියෙනවා තුරුළු කරන් ආදරෙයි කියා ...
අපේ ආදර කතන්දරේ පටන් ගත්තා.. බොරැල්ලේ ලීඩෝ ෆිල්ම් හෝල් එක,138 බස් වල පිටි පස්සේ සීට් එක.නුගේගොඩ බෝ ගහ අපේ ආදර කතාවේ ගොඩක් සිදුවීම් දන්නවා.
සාමාන්‍යයෙන් මට ටිකක් වැඩිපුර කේන්ති යන කෙනෙක්. ආදරේ පටන් ගන්න කාලේ අපි හැමෝම හරි සුන්දර විදිහට බොරු ප්‍රතිරූපයක් මවා ගෙන හැසිරෙනවා .ටික කාලෙකට පස්සේ අපි ඇත්ත කෙනා බවට ආපහු පත් වෙනවා.මොකද එතකොට ආදරයේ හිමිකාරීත්වය අපිට ලැබිල තියෙන නිසා ගැටළුවක් වෙන්නේ නෑ කියලයි අපි හිතන්නේ.මේක දෙපාර්ශවයටම පොදු කාරණයක්.
අංකුරයක් වගේ ආරම්භ කරපු අපේ ප්‍රේමය දැන් මහා වනස්පති වෘක්ෂයක් වගේ වැඩිලා.අයි එල් ටී එස් ක්ලාස් එක ඉවර වුණේ විභාගෙන්.එයා ප්‍රතිශතයක් විදියට හතයි දශම පහක් අරගෙන ඉහළින් ම සමත් වුණා.මගේ ලකුණු හතරයි දශම පහට වත් ළං කරගන්න අමාරුයි.
ආදරේ කරන්න හේතුවක් ඕනෙ නෑ වගේ ම,ආදරේ කරන දෙන්න කොට රණ්ඩු වෙන්නත් හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ .රණ්ඩු වෙන එක කලාවක් නම් මං ඒක පිකාසෝ වෙලා හිටියේ.ඒත් ඇඟේ දුවන හැම නහරයක ම හැම ලේ බිංදුවකටම යාරාගේ ආදරය මුහු වෙලා තිබුනා.
මං රණ්ඩු වෙන හැම වෙලාවකම එයාට කිව්වේ ..
ඇනුම් බැනුම් වලට මගේ හඬන්නට එපා
සිත රිදවන වදන් වලට තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ
කුණාටු සාගරේ
දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ..
කියලා..
එයාලගේ ගෙවල් වලින් අපිට හොඳටම බකට් එක ඇද්දා.එයත් කිව්වා අම්මල තාත්තල මෙච්චර මහන්සි වෙලා මාව ලොකු මහත් කරලා උගන්වල එයාලා කියන කීමට පිටින් යන්න බෑ කියලා.ඒ මොනවා වුනත් ,මැරෙනකල්ම ආදරය කරන්නේ මට කියලා තමයි එයා වෙන් වෙලා ගි‍යේ..එයාට අනුකම්පා කරන්ලු.ආදරේ කරන කෙනෙකුට ආදරයෙන් ම වෙන් වෙන්න අවස්ථාව දෙන්න පුළුවන් වුණාට ආදරේට අනුකම්පා කරන ක්‍රමවේදයක් ගැන මම දැනගෙන හිටියේ නෑ .
කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුද කලදා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනි වෙන්නම්
කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්
යාරා අයි එල් ටී එස් විභාගය හොඳට පාස් වුණ නිසා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලැබුවා.එයා මට නොකියම යන්න ගියා.ඊට අවුරුදු හතරකට පස්සේ මව නෙතූව කසාද බැන්දා.දැන් අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා .අහසයි පොළොවයි අතරේ අපේ ජීවිතය සාමකාමී විදිහට ගලාගෙන යනවා .නිතු ටිකක් සැරයි.ඒත් ඒක වැරැද්දක් විදියට මම දකින්නෙ නෑ .මොකද දැන් මම ඒකට හුරු වෙලා..
අහම්බෙන් දවසක ට්‍රැෆික් ලයිට් එක දී මම යාරාව ආපහු දැක්කා .එයා හිටියේ බී එම් ඩව්ලිව් එකක.මට හොඳටම විශ්වාසයි එයා මම අදුර ගත්ත කියලා.මම හිනා වෙන්න කලින් කොළ පාට ලයිට් එක පත්තු වුණා.ආයෙමත් අපි වෙන් වුනා.
කොහේ ඉන්නවද මොනවා කරනවා ද කියලවත් මම දන්නේ නෑ .ඒත් හැමදාම මම ට්‍රැෆික් ලයිට් එකට අහු උනාම ඒ සුදු පාට බී එම් ඩබ්ලිව් එක තියෙනවද කියලා බලනවා.
ඒ හැම මොහොතකම මගේ මතකය ඇවිස්සෙනවා . කවුරු මොනවා කිව්වත් මම හොඳටම දන්නවා ,ආදරේක තියෙන සෞම්‍ය හැඩය මම අඳුරගත්තේ යාරා ගෙන්.ඒක මට දැනෙන්නෙ යාරට සාපේක්ෂව නෙතූව බලනකොට.
ඔව් මං දන්නවා එහෙම සාපේක්ෂව බලන්න එක අතිශය නරක දෙයක් කියලා .හැම නරක දෙයක් අස්සෙම අපි එක ඕනවටත් වඩා කරනවා.
හැමදාම හවසට වැඩ ඇරිලා ගෙදර එන කොට හාවී රෙස්ටෝරන්ට් එකෙන් ජින් මිලිලීටර් දෙසීයක් ශරීර ගත කරගන්න අමතක කරන්නෙ නෑ .ඒ හැම වෙලාවකම රූකාන්ත මට ආයෙත් මතක් වෙනවා.
සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතිවද ඔබ දන්නේ
දිනි හිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳ දෙස බල බල මා පැතු පැතුමන් මෙතැකැයි කියන්න බෑ
හිරු මා දෑ වුවත්
මා ලද උණුසුම
අමතක කරන්න බෑ .
රූකාන්ත ව මතක් වෙලා ටික වෙලාවකින් මට නෙතූව මතක් වෙනවා.ඉතිං ඉක්මනට ගෙදර යනවා..

සුපුන් රත්නායක

Back to top
Go to bottom

Popular News