lan englan tam

පුවත්

සුදු ඇඳුමින් සැරසුණු අරලිය ගහ යට ගැන ලොකු අයියාගේ මතකය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුන්දර ජායාරූපයක් සෑමවිටම ගෙන දෙන්නේ සුන්දර මතකයක්. එහි මතකය ආවර්ජනය කිරීමත් සිතට ගෙන දෙන්නේ සුවදායි බවක්. අපි පරණ රූප පෙට්ටගම නමැති විශේෂිත වූ ලිපි මාලාව තුළින් ඔබට සම්මුඛ වීමට තීරණය කළේ එම මතක ඇවිස්සීමෙන් ලැබෙන සුවදායි බව ඔබටත් ලබා දෙන්න. ඒ වාගේම ඒ සුන්දර වූ කලාකරුවන්ගේ එදවස හැඟීම ඔබටත් දනවන්න.

ලාංකේය සිනමාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ සිනමාපට කිහිපයක් කියන්නට කියා මම ඔබට ඇරයුම් කළොත් මේ සම්මානනීය චිත්‍රපටය ඒ ලැයිස්තුවේ තිබෙන බව මම හොඳාකාරවම දන්නවා. ඉතින් අද අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ සම්මානනීය චිත්‍රපටයේ රූ ගත කිරීම් අතර ගත් ඡායාරූපයක්. අද අපගේ කතා නායකයා වන්නේ ඔබ දකින මේ ඡායාරූපයේ සිටින කාගෙත් ලොකු අයියා වන මහේන්ද්‍ර පෙරේරා.
“ආ.. ලොකු අයියා කියන්න මොකද්ද කේස් එක?” ඒ මම ඔහුව සම්බන්ධ කරගත් පසු ඔහු මා හට පෙරළා ප්‍රතිචාර දක්වපු විධිය. ලාංකේය සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය කලාවේ එක ලෙස දස්කම් පෙන්වන ලොකුම අයියා වන මහේන්ද්‍ර පෙරේරාට අප හැමෝම ලොකු අයියලා තමයි. ඒක තමයි ඔහුටම පොදු වූ ආදරණීයම වූ ආමන්ත්‍රණය. ඉතින් මම මේ සාකච්ඡාවේදී ඔහුගෙන්ම අසා දැනගත්තා මේ ඡායාරූපයේ යටගිය දවස සිදු වූ සොඳුරු සිදුවීම් පිළිබඳව
“මේ ඡායාරූපය 2004 වර්ෂයේ තිරගත වුණු බූඩි කීර්තිසේනගේ මිල්ලේ සොයා චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ගත්ත ඡායාරූපයක්. මේ ඡායාරූපය ගැන කියන්නට කලින් මුලින්ම කියන්න ඕනෑ අදටත් මාව හමුවන සමහර හිතවතුන් මට කියනවා ‘අපි අපේ ස්ට්‍රේස් නැති කරගන්න තාමත් මිල්ලෙ සොයා දාගෙන බලනවා’ කියලා. ඇත්තටම මේ කතාව අදටත් වලංගු සුන්දර කතාවක්. චිත්‍රපටය 2004 තිරගත වුණත් මේ රූගත කිරීම් කටයුතු සිදුවුණේ නම් වසර ගාණකට කලින්.
ඔතන ඉන්නේ අපේ චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව රඟන සංගීතා වීරරත්න එක්ක මම. ගිනි කාස්ටක අව්වේ කකුලට සෙරෙප්පුවක්වත් නැතිව පිච්චි පිච්චි ඉන්න වෙලාවක තමයි මේක අරගෙන තියෙන්නේ. ඔය පසුබිමෙන් තියෙන්නේ මාරවිල සුන්දර වෙරළ තීරය. අපි ඇඳගෙන ඉන්න විදිහෙන් නම් චිත්‍රපටයේ මොන රූගත කිරීමේ අවස්ථාවද කියලා කියන්න ඕනෑ වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ. ඇත්තටම මේ අදටත් ඇහෙන ජය ශ්‍රී සහෝදරයන්ගේ සුදු ඇඳුමින් ගීතය රූගත කිරීම කරන අවස්ථාව. මම මෙතැන, සංගීතගේ උස එක්ක ගැළපෙන්න ඕන නිසා ඇපල් පෙට්ටියක් උඩ නැඟලයි ඉන්නේ. ඒ ඉන්නකොටත් ඉතින් දන්නේ නැද්ද මම ඉතින් සීන් එක ගැන එක එක ඒවා කරලා පෙන්නනවා. හරිම සුන්දර මතකයක් තමයි ඉතින් ඒ.”
මහේන්ද්‍ර පෙරේරා නම් වූ අව්‍යාජ අති දක්ෂ කලාකරුවා සිනහවෙමින් ඒ මතකය ඇවිස්සුවේ ඒ විධියට. සැබෑවටම ඒ මතකය සුන්දරයි. ඉතින්, අදටත් වලංගු කතා තේමාවකින් යුතුවන මිල්ලේ සොයා චිත්‍රපටයේ මෙම ‘සුදු ඇඳුමෙන්’ ගීතය රූගත කිරීමේදී ගත් මේ සුන්දර වූ ඡායාරූපය අපගේ මතක ගබඩාවටත් එක් කරන්නේ සොදුරු ආස්වාදයක්.

ෂාමික ජයලත් - ඉරිදා මව්බිම

Back to top
Go to bottom

Popular News